Wednesday, December 2, 2015

ගර්හිත සමාජය අතික්‍රමණය කල හැක්කේ කාටද ?


" ඔහු නරියෙකු ලෙස පැමිණෙනු ඇත. සිංහයෙකු ලෙස පාලනය කරනු ඇත. බල්ලෙකු ලෙස මිය යනු ඇත "
පාන් සහ වයින් : පිටුව 306


ඉහත ප්‍රකාශය තුලින් ගම්‍ය වන්නේ ලෝකයේ බිහි වූ එකාධිපතියන්ගේ ආරම්භය හා අවසානයයි . හිට්ලර් , මුසලෝනි , මාකෝස් , බොනපාට් , පිනෝචේ , සුහර්තෝ වැනි ඒකාධිපති වියරුවෙන් පෙලුණු මිනිසුන් ගේ පාලන සමයන් නිර්මාණය වුයේ අහඹු ලෙස නොවේ. පාලකයන්ට සිය පැරණි උපාය උපක්‍රම තව දුරටත් තමන්ගේ රුචි අරුචිකම් ඉෂ්ඨ කරගැනීම වෙනුවෙන් භාවිතා කිරීමට නොහැකි වීම තුල දුර්වල පාලකයන්ට ඇත්තේ බලහත්කාරය මුදාහැරීම පමණි. ලෝක ඉතිහාසය තුල මෙවැනි අවිචාර සමයන් ගොඩ නැගී ඇත්තේ හමුදා කුමන්ත්‍රණ තුලින්ම පමණක් නොවේ . තුන් වන ලෝකයේ බොහෝ රටවල ප්‍රජාතන්ත්‍රවාදී වෙස් මුහුණු පැළඳ විසුකදස්සන වලින් ඡන්දය කොල්ලකන පාලකයන්ද අවසානයේ තම නොහැකියාව තුල බිහිකරන්නේද අවිචාර සමයකි.


ලෝකයේ බොහෝ අවිචාරවත් සමයන් බිහි වූ විට නිහඬතාවය බිඳිමින් පාලකයන්ට ඍජු අභියෝග එල්ල කලේ ප්‍රගතිශීලී අදහස් වලින් පන්නරය ලැබූ මිනිසුන්ය. ඒ අතර කළාකරුවන් , සාහිත්‍යධරයින් , වාමාංශික දේශපාලන ක්‍රියාකාරීන් ප්‍රමුඛතම කාර්යන් ඉටු කළේය . ඇඩොල්ෆ් හිට්ලර් ජර්මනියේ පාලන බලය හිමිකර ගැනීමෙන් අනතුරුව ලක්ෂ ගණනින් මිනිසුන් මරා දැමීය . ජර්මනිය පමණක් නොව අසල් වැසි රටවල් පවා මර්ධනය කරමින් ඒ සෑම ස්ථානයකම වධ කඳවුරු බිහි කළේය. නිදහස් නිර්මාණකරණය සපුරා තහනම් කෙරුණි. හිට්ලර්ට අවනත නොවූ කලාකරුවන් , මාධ්‍යවේදීන් සිය ගණනක් අමානුෂික ලෙස ඝාතනයට ලක් කළේය. සැහැසිකම් වල ප්‍රතිරාව ජර්මානු දේශසීමා ඉක්මවමින් මුළු යුරෝපය පුරාම පැතිර ගියේය. නමුත් මේ සියලුම මර්ධනයන් හමුවේ චාලි චැප්ලින්ගේ සිනමා නිර්මාණ මෙන්ම බර්ටෝල් බ්‍රෙෂ්ට් ගේ නාට්‍ය හා කාව්‍ය නිර්මාණ සියලු අභියෝග පරයා සමාජ ගත කෙරුණි. තම දිවියට වඩා මානව වර්ගයාගේ නිදහස අගය කල හැක්කේ ධනවාදී සිතුම් පැතුම් වලින් පන්නරය ලැබූ මිනිසුන්ට නොව ප්‍රගතිශීලී මතදරන්නට බව ඔවුන් ලොවට ඔප්පු කළේය. හිට්ලර්ගේ ඒකාධිපති පාලනයට එරෙහිව ඔවුන්ගේ ශක්තිය මුදා හැරියේය.


1966 දී නයිජීරියානු ප්‍රජාතන්ත්‍රවාදී පාලනය බිඳ දමමින් Kaduna Nzeogwu නම් හමුදා කර්නල් වරයා විසින් එරට පාලනය කුමන්ත්‍රණයකින් අත්පත් කර ගත්තේය. ඉන් පසුව එරට පාලන බලය අත්පත් කරගත් හමුදා පාලනය විසින් තකතීරු ඒකාධිපතිත්වයක් සමාජයට මුදා හැරියේය. ජනතාවගෙන් බහුතරය උදාසීනව , බියපත්ව කුරිරු පාලනය දෙස බලා සිටියදී , එකී දුෂ්කරතාවයට පන පෙවීමට උරදුන්නේ කීර්තිමත් සාහිත්‍යධරයෙකු වූ චීනුවා අචබේය. එවකට තිබු අවිචාරවත් පාලන සමය කෙසේ අතික්‍රමණය කල යුතුද යන්න ඔහු නිර්භයව ලියන්නට පටන් ගත්තේය. ඔහු විසින් සමාජ ගත කරන ලද විවිධ නිර්මාන් හරහා අවදි කලේ නයිජීරියානු පුරවැසියන්ය. ඔහුගේ නිර්මාණ අතර සුවිශේෂී ගනයේ නවකතාවක් වුයේ A MAN OF PEOPLE කෘතියයි. එය දයාසේන ගුණසිංහ නම් මේ රටේ බිහි වූ ප්‍රගතිශීලී පුවත්පත්කලාවෙදියානන් අතින් සිංහලට පරිවර්තනය වුයේ " පොදු ජනයාගේ මිනිසෙක් " ලෙසය. එම කතාවේ ඔඩ්ලි , මැක්ස් , ඇතුළු චරිත කිහිපයක් රට වෙනස් කිරීමේ නිවැරදි මාවත තෝරාගනිමින් හමුදා පාලනයට එරෙහිව අවංක හා අධිෂ්ඨානශීලීව මහා කැපවීම් කරති. කතාවේ අවසානයේ දී ඔවුන් හමුදා පාලනයේ මර්ධනයට නතු වුවද , ඔවුන් ගේ අසම සම කැපකිරීම් , ඔවුන්ගේ උදාර අරමුණු පිළිබඳව සමාජය තුල කතිකාවක් ගොඩනැගුණි. අචබේ ගේ නිවැරදි දෘෂ්ඨිය තම නිර්මාණ හරහා මතු කරමින් සමාජය නිද්‍රාවෙන් අවධි කළේය. ජනපීඩක පාලනයකට එරෙහිව නැගී සිටීමට සටන් කිරීමට හැකි නම් ඔවුන් මානව සමාජය වෙත දක්වා ඇත්තේ අපිරිමිත භක්තියකි. ලොව පුරා එවන් මිනිසුන් අප මහත් භක්තියෙන් ආදරයෙන් සමරන්නේ අති උදාර කැපකිරීම් වලට බුහුමන් ලෙසය.


පාලකයන් තම රට ඒකාධිපති වියරුවකින් පාලනය ගෙන යාමේදී ඊට එරෙහිවන්නන් මර්ධනය කරනු ලැබුවේ තීරස්චීන ලෙසය. උගන්ඩාවේ ඉඩි අමීන් , කියුබාවේ බැටිස්ටා , පකිස්ථානයේ සියා උල් හක් , බංග්ලාදේශයේ මහමුද් පර්ශාත් , වැන්නෝ ද මර්ධනය අත්හදා බලමින් ජනතාව පෙලූ මිනිසුන්ය. එහෙත් අවසානයේ ජනතාවගේ අරගලවල ප්‍රතිපලයක් ලෙස මේ සියල්ලන්ටම සිහසුනෙන් බිමට බැසීමට සිදු විය. එහෙත් ඔවුන් පලා ගිය සැනකින් යහපත් සමාජයක් ගොඩ නැගුනේද නැත. මක් නිසාද යත් ඉන් පසුව උදාවන අරාජිකත්වය තුලින් සැබෑ නායකත්වයක් බිහි නොවීමය. ආත්ම විශ්වාසයෙන් කටයුතු කරන බුද්ධිමය දේශපාලන නායකත්වයක් බිහි නොවීම තුල නැවත නැවතත් මතු වන්නේ අරාජිකත්වයම පමණි. එයට කදිම නිදසුන අපට ලබා දී ඇත්තේ අරාබි වසන්තය ලෙස හැඳින් වූ උතුරු අප්‍රිකානු කලාපය තුල හමා ගිය පාලනයන් බිඳ වැටීම තුලය. කොන්ගෝ නිදහස් අරගලය තුල වරකේ බ්‍රෙක්මන් මෙසේ කියා ඇත.

" එක්කෝ අප මාවතක් සොයා ගත යුතුය. නැතහොත් අප මාවතක් තනා ගත යුතුය " 

සිය දේශපාලන ක්‍රියාවලිය තුල අවම සදාචාරය පවා බිඳ දමා තම පෞද්ගලික අභිමතාර්ථයන් මුදුන් පත් කර ගැනීමට කැස කැවු පාලකයන්ගෙන් මේ රටටද අඩුවක් නැත. ඔවුන් පරදා නැගී සිටි කපටි කයිරාටිකයින්ද ප්‍රජාතන්ත්‍රවාදී සළු පිලි උනා දැමීමෙන් අනතුරුව පෙර හා නව පාලකයා අතර වෙනසක් නොපෙන්වති. ඔවුන් කෙසේ හැසිරුනද පාන් සහ වයින් නිර්මාපකයාට අනුව අවසානයේදී බල්ලෙකු ලෙස බැස යා යුතුය. එය හුදු අහම්බයක ප්‍රතිපලයක් ලෙස නොව ජනතාවගේ පීඩනය පුපුරා යාමතුලය.

අයිරිෂ් ජාතික වොයිනික් විසන් රචිත " ඇටමැස්සා " නවකතාවේ ආතර් බර්ටන් නොහොත් ඇටමැස්සා පවසන වදනින් මේ කෙටි සටහන සමාප්ත කරමි. ....ඉතාලි ආඥාදායකත්වයට එරෙහිව පවසන මේ වදනින් ජනතාව පාලකයාට එරෙහිව ගොඩනගා ගත යුතු නිවැරදිම දෘෂ්ඨිය මෙය යැයි මානාව පසක් කර දේ......

" මම දන්නා භායනකම අවිය සමච්චලයෙන් හෙලා දැකීම . ජේසු නිකායිකයින් හාස්‍යජනක කොට්ඨාශයක් බව මිනිස්සුන්ට පෙන්වන්න අප සමර්ථ වුනොත් ඔවුන්ට ඔවුන්ගේ උරුමයන්ට ඔවුන්ගේ අභිමානයට මිනිසුන් ලවා හිනස්සන්නට අපට පුළුවන් , එවිට අපි ලේ හලීමකින් තොරව ජයගන්නවා "


                                                       
                                                                 - චූලක බණ්ඩාරවත්ත -






No comments:

Post a Comment