Sunday, December 6, 2015

කලාව යනු මිනිස් මනසේ පරිකල්පනයක් පමණද ?

 කලා නිර්මාණයක් මිනිස් මනස තුළ ජනිත වීම යනු බාහිර යතාර්ථය තව දුරටත් විකාශනය වීමක් ලෙස හැඳින් විය හැක. කලාව යනු මිනිසාගේ කල්පනා ලෝකයේම දිගුවකි. එය එකිනෙකා සිතන පරිදි නිර්මාණය විවිධාංගිකරණයට ලක් වුවද විකාශනය තුළ මතු වන්නේ තමා දකින බාහිර ලෝකයේ කුමන හෝ පැතිකඩකි. ඇත්තෙන්ම සිතුවිල්ලක උපත යනු බාහිර ලෝකයයේ පරිකල්පනයකි. අප අත්දකින බාහිර ලෝකය බැහැර කර කිසිවක් පැවතිය නොහැකිවාක් මෙන්ම කලාවද එයට අසීමිත ලෙස බද්ධ වී ඇත.

බාහිර යතාර්ථයෙන් ව්‍යුක්තව නිර්මාණ කරුවෙකුට සිය අදහස කලා කෘතියකට ඇතුළත් කළ නොහැක. මිනිසා කිසි දිනක අත් නොදුටු දෙයක් ඔහුට සිය නිර්මාණයට අනුගත කළ නොහැක. මෙතෙක් ලොව බිහිවූ නිර්මාණය යනු මිනිසා අත් දුටු යතාර්ථය පමණි. ඉපැරණි ලෝකය තුළ අද්භූත යයි බලු බැල්මට පෙනෙන නිර්මාණ මිනිසා විසින් බිහි කළේය. ඒ අතර මුහුණු සයයි අත් දොලසක් ඇති පිළිමද . හින්දු පුරාවෘත වල ඇත් හිසක් ඇති දෙවිවරුද .

 ග්‍රීක ජනප්‍රවාද වල එකැස් මිනිසුන්ද , දිය කිඳුරියන්ද, මකරුන්ද , නරා අශ්වයින්ද නිර්මාණය කළේය. මේ අතරින් දිය කිඳුරන් හා නරා අශ්වයින් ලොව කොතැනක හෝ නුදුටුවද එහි ඇති බාහිර යතාර්ථය ප්‍රතිෂේප කළ හැකිද ? එකැස් මිනිසුන් , මකරුන් , මෙන්ම දිය කිඳුරන්ද යතාර්ථයට සමරුපී නොවුනද ඒවා නිර්මාණයට යොදාගෙන ඇත්තේ ප්‍රකෘතියේ අප දකින ද්‍රව්‍යන් තුළිනි. පණ ඇති වස්තුන් හැර අද්භූත, විශ්මිත , බලගතු කිසිවක් මේ ලොව පැවතිය නොහැකි බව මෙම නිර්මාණ දෙස සියුම් බැල්මක් හෙලීමේදී අපට දැකගත හැක.


කිඳුරා යනු මිනිසා සහ මත්ස්‍යයෙකුගේ එකතුවකි. නරා අශ්වයන් දෙවොල මත ඉදි වන්නේ මිනිසා සහ අශ්වයෙකු එක් කිරීමෙනි. මිනිසා විමතියට හා කුතුහලයට ලක් ක මකරා නිර්මාණය කර ඇත්තේ ගවයාගේ ඇස්, මාළුවාගේ සම , සර්පයාගේ දිව, , කිඹුලාගේ පාද , හා ගින්දර යනාදියේ එකතුවකි. එසේ නම් යථාර්ථයේ අප දකින , අත්දුටු සියල්ලම මිනිසා විසින්ම නිර්මාණයකට ඇතුළත් කර ඇත. දේව ප්‍රතිමාද නිර්මාණය කිරීමෙහිලා මෙකී සත්‍යයෙන් පරිබාහිරව කිසිවක් සිදුවී නැත. එහෙත් මෙවැනි නිර්මාණ වලට අතිශෝක්තිය ගෙන එමෙන් මිනිස් මනස ව්‍යාකුල කර නොනැවතී මිනිසා යතාර්ථයෙන්ද ඈත්කර ඇත. මිනිස් මනස විඥානවාදී සංකල්පයන්ගෙන් භෞතිකවාදයට ප්‍රවිෂ්ඨ වීමේදී යතාර්ථය ඇති සැටියෙන්ම අවබෝධ කර ගත හැක. එයට මාක්ස්වාදයෙන් අතිමහත් රුකුලක් ලෝකයාට ලැබී ඇත.

 

                                                                                                   - චූලක බණ්ඩාරවත්ත -    







No comments:

Post a Comment