Sunday, December 13, 2015

ලොව බිහිසුණු එකාධිපතියෝ : පිලිපීනයේ මාකෝස්

ෆර්ඩිනන්ඩ් එමානුවෙල් එද්රලින් මාකෝස් උපත ලබන්නේ පිලිපීනයේ සරට් නගරයේ වර්ෂ 1917 සැප්තැම්බර් 11 වන දිනකය. උපතින්ම දේශපාලන පව්ලකට හිමිකම් කි ඔහුගේ පියා වූ මරියානෝ, පිලිපීන පාර්ලිමේන්තුව නියෝජනය කල මන්ත්‍රී වරයෙකි. 1935 පැවති මැතිවරණයෙන් සිය පියාගේ ප්‍රතිවාදියා වූ ජුලියෝ නාලුන්ඩන්සන් විසින් ඔහු පරාජය කළේය. ඉන් වියරු වැටුණු මාකෝස් ඇතුළු සොහොයුරන් ඔහු වෙඩි තබා මරා දැමීය. ඇසින් දුටු ශාක්ෂි වලට අනුව වෙඩි පහර එල්ල කලේ මාකෝස් බවට උසාවියේදී තීන්දු විය. ඉන් පසුව ඔහුට හා සොහොයුරන්ට මරණීය දණ්ඩනය හිමි වුවද පසුව උසාවියට ඉදිරිපත් කල ඇපෑල මගින් ඔවුන් නිදහස් ලෝකයට පිවිසුණි.

ඉන් පසුව නීති විද්‍යාලයට එක් වී නීතිය පිළිබඳව උපාදියක්ද ලබා ගනිමින් ලෝක යුද්ද සමයේ පිලිපීන හමුදාවටද සම්බන්ද විය. ජපන් ආක්‍රමණය ඉදිරියේ නව ගරිල්ලා සන්විදානයක් බිහිකරමින් සාමජිකයින් 9000 ක් සමග ජපන් ආක්‍රමණිකයාට එරෙහිව සටනේදී නායකත්වය දුනි. ලෝක යුද්දය අවසන් වීමත් සමගම පිලිපීනය ඇමෙරිකානු යටත් විජිතයක් බවට පත් විය. ඔහුගේ දේශපාලන ගමන ආරම්භ වන්නේ ඉන් අනතුරුවය. පිලිපීන ලිබරල් පක්ෂය නියෝජනය කරමින් මැතිවරණ කිහිපයක්ම ජය ගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, සෙනෙට් සභිකයෙක් ලෙසද කටයුතු කරමින් ජනපති අපේක්ෂකත්වය කරා වේගයෙන් පැමිණියේය. අවසානයේ ඔහු පිලිපීන ජනපති ලෙස ඇමෙරිකානු මුල්‍යාධාර මත හැකි විය. ඔහුගේ පළමු කාර්ය වුයේ වියට්නාම් සමාජවාදී විප්ලවය පරාජය කිරීමට දකුණු වියට්නාමයට පිලිපීන හමුදාවන් යැවීමය. ඔහු 10000 ක හමුදාවක් සමාජවාදී වියට්නාමයට එරෙහිව සටන් වැදීමට යැවීය.


 1969 නැවත මැතිවරණයක් පවත්වා ඔහු ජයගත්තේය. එය අන්ත දුෂිත , භීෂණය දියත් කල ප්‍රෝඩාකාරී මැතිවරණයක්ම විය. ඒ වෙනුවෙන් ඔහු පිලිපීන භාණ්ඩාගාරය සතු ඇමෙරිකානු ඩොලර් මිලියන 56 ක් වියදම් කර තිබුණි. ඉන් අනතුරුව ආරම්භ වුයේ ඒකාධිපති වියරුවෙන් රටේ පාලනය ගෙන යාමය. එයට එරෙහිව සංවිධානය වූ පිලිපීන කොමියුනිස්ට් පක්ෂය ඔහුගේ නින්දිත පාලනයට එරෙහිව සන්නද්ධ අරගලය දියත් කළේය. 1972 දී මාකෝස් විසින් රට පුරා මාෂල් නීතිය පනවමින් සිය විරුද්ධ වාදීන් , ශිෂ්‍ය ව්‍යාපාර මර්ධනය කිරීම ආරම්භ කළේය. සිය ප්‍රතිවාදීන් වූ ලොපෙසස්, ජෝවිටෝ සලේන්ගා , ජොසේ දියෝක්නෝ වැනි දේශපාලන පක්ෂ නායකයින් දින නියමයක් නොමැතිව සිර කර තැබීය. සිය ප්‍රධානතම ප්‍රතිවාදියා වූ බෙනිග්නෝ අකිනෝ රටින් පිටුවහල් කල අතර, නැවත වසර තුනකට පසුව ඔහු සිය රටට පැමිණෙද්දී ගුවන් තොටු පලේදී වෙඩි තබා ගාතනය කර දැමීය. ජනමාධ්‍ය නිහඬ කරමින් රාජ්‍ය ජනමාධ්‍ය පමණක් රට තුල ක්‍රියාත්මක කළේය. මේ කෘර පාලනය අනුමත කරමින් ඇමෙරිකාව 1972 සිට 82 දක්වා කාලය තුල ඇමෙරිකානු ඩොලර් බිලියන 2,5 ක යුධ හා ආර්ථික ආධාර ලබා දී තිබුණි. විශේෂිත සිදුවීමක් ලෙස 1981 දී දෙවන් ජෝන් පාවුළු පාප් වහන්සේද ඔහුට ආශිර්වාද කිරීමට පැමිණීම සඳහන් කල හැක.


 මහා භාණ්ඩාගාරය සතු ජනතා මුදල් ප්‍රසිද්දියේ මංකොල්ලකෑම වසා ගැනීමට විවිධ ආකර්ශනීය නම් යොදමින් නාමික සංවර්ධන යෝජනා ක්‍රම දියත් කළේය. ඔහු එය පුර්වාදර්ශයක් කරගත්තේ ඉන්දුනීසියානු ඒකාධිපති දුෂ්ඨ පාලකයෙකු වූ සුහර්තෝ ගෙන ගිය " නිව් ඕඩර් "  ප්‍රතිපත්තියයි . 
( වර්තමානයේ අප දකිමින් සිටින්නේද එයයි. ) ඔහු අයුතු ලෙස උපයාගත් මුදලින් ඇමෙරිකාවේ ක්‍රව්න් ගොඩනැගිල්ල ඇතුළුලොව පුරා බිලියන ගණනක් වටිනා වත්කම් වලට හිමිකම් කිය. ඔහුගේ පාලනය තුල සිය පව්ලම ආසියාවේ මහා ධනකුවේරයන් බවට පත් වුයේ ජනතා මුදල් සොරාකමිනි.

 
 ඔහුගේ අවසන් කාලයේදී වැළඳුනු අක්මා රෝගී තත්වයෙන් පසුව නොනිල ලෙස රට පාලනය කරන ලද්දේ සිය බිරිඳ වූ ඉමෙල්ඩා මාකෝස් විසිනි. ජනතාව සමච්චලයට ලක් කරමින් සුර සැප විඳි කාන්තාවක් ලෙස ඇය පසුව ලොව පුරා ප්‍රචලිත විය. ජනතාව විසින් ජනපති මන්ධිරය වටලන අවස්තාවේදී ඇය විසින් පාවිච්චි කරන ලද සපත්තු කුට්ටම් 2700 ක් සොයා ගත හැකි වීමෙන් ඔවුන්ගේ ජීවිත ගැන කදිම ලෙස වටහා ගත හැක. සිය පාලනය තුල දරාගත නොහැකි ලෙස ජනතාවට පීඩනය එල්ල වූ අතර මාකෝස් ගේ අවසානයද එහා සමගාමීව ආරම්භ විය. ජනතාව පීඩනය දරාගත නොහැකි වූ අවස්ථාවේ ඇති එකම විසඳුම කැරලි ගැසීමය. ජනතාව යුක්ති සහගත පාලනයක් වෙනුවෙන් සටන් වැදීමය. එය පිලිපීනයේදී මාකෝස් ගේ කෘර පාලනයට එරෙහිවද සිදු වුයේ ඉතිහාසයේ සිදුවීම් නැවත නැවතත් සමගාමීව සිදුවන බව පසක් කරමිනි.

 කොරසෝන් අකිනෝ හා සැල්වදෝර් ලොරෙල් ගේ නායකත්වයෙන්
 " මහජන බලය " ව්‍යාපාරය ගොඩනගමින් ලක්ෂ සංඛායත ජනතාවක් වීදියට කැඳවීය. එම උත්ගොෂණ රැල්ලට බියවී මාක්සෝ හා සිය බිරිඳ ධවල මන්ධිරයෙන් උදව් ඉල්ලා සිටියේය. පම්පන්ගා නම් ඇමෙරිකානු ගුවන් හමුදා කඳවුරට රැගෙන ආ මාකෝස් ඇතුළු සහචරයින් පසුව හෙලිකොටර් හතරකින් ඇමෙරිකාවේ ගුවාම් ගුවන් තොටුපලට රැගෙන ආවේය. එහි සියලුම රහස්‍යම වැඩ කටයුතු සි. අයි. ඒ. සංවිධානය විසින් සැලසුම් කර තිබුණි. එක්සත් ජනපද රෙගු වාර්තාවලට අනුව රත්රන් පොලු සුට්කේස් 24ක් , දියමන්ති හා ආභරණ සහිත බෑග් , ඩොලර් මිලියන ගණන් වටිනා තැන්පතු, රැගෙන විත් තිබුණි. රොනල්ඩ් රේගන් විසින් එම අති විශාල ධන්ස්කන්දයද සමග ඇමෙරිකාවට අයත් හවායි දුපතේ ඔහු මිය යන තුරු නිරුප්‍රදිතව සිටීමට අවසර දී තිබුණි.

 1989 සැත්තැම්බර් 22 වෙනි දින තවත් ප්‍රජාපීඩක එකාධිපතියෙකුගේ භූමිකාව නිමාවට පත් වුයේ අක්මාව අක්‍රීය වීමෙනි.


                                                                                              - චූලක බණ්ඩාරවත්ත -




No comments:

Post a Comment