Friday, December 18, 2015

මැරිලින් බක්


මැරිලින් බක් යනු අධිරාජ්‍යවාදීන් ගේ තිඹිරි ගෙය තුල ඉපිද එයට එරෙහිව දැවැන්ත සටනක් ගෙන ගිය ඇමෙරිකානු කාන්තාවකි. 1947 දෙසැම්බර් 13 වනදා ඇය උපත ලද්දේ ටෙක්සාස් ප්‍රාන්තයේ මිඩ්ලන්ඩ් හිදීය. 1960 දී සරසවි අධ්‍යාපනය හදාරන සමයේදී මරිලින් ගේ ප්‍රගතිශීලී අදහස් මෝරා වැඩෙන්නට විය . වියට්නාමය තුල සිදු කල ඇමෙරිකානු අමානුෂික යුද්ධයට එරෙහිව ගොඩනැගුනු ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් උදෙසා වූ ශිෂ්‍ය සංවිධානයට බැඳී එහි ප්‍රබල ක්‍රියාකාරිනියක් විය. අනතුරුව පලස්තීනයට නිදහස වෙනුවෙන් වූ අරගලය තුලද , ඇමෙරිකානු වර්ගවාදයට එරෙහි අරගලය තුලද මරිලින් කැපී පෙනෙන චරිතයක් විය. 1970 වන විට ඇයගේ දේශපාලන දැක්ම වෙනස් වෙමින් දැඩි කොමියුනිස්ට්වාදිනියක් විය. ඇමෙරිකාව තුල එවකට ක්‍රියාත්මක වූ කළු ජාතික විමුක්ති ව්‍යාපාරයට සම්බන්ද වී එහි සන්නද්ධ අංශය වූ Black Panther Army හි උද්වෙගවත් ක්‍රියාකාරිනියක් විය. 1973 දී වෙඩි බෙහෙත් මිලදී ගැනීමේ සිද්ධියකට වැරදිකාරිනියක් වීමෙන් දසවසරක සිර දඬුවමක් නියම විය. නමුත් 1979 දී ඇය සිරගෙදර බිඳ පලාගිය අතර අනතුරුව රහසිගත දේශපාලනයක නිරත විය. එමකාලය තුල ඇමෙරිකානු සෙනෙට් මන්ධිරයට එල්ල කල සන්නද්ධ ප්‍රහාරයේ මුල් පෙලේ ක්‍රියාකාරිනියක් විය. එම සිදුවීමට ඇය අත්අඩංගුවට පත් වන්නේ 1985 දීය.
 
1985 සිට 2010 දක්වාම ඇමෙරිකාවේ ටෙක්සාස් බන්ධනාගාරයේ කුඩා සිර මැදිරියක ඇයගේ භෞතික ශරීරය පමණක් සිර කර තැබිය. බන්ධනාගාරයේ උසම උස තාප්ප වලට අයගේ අධිෂ්ඨානයත් , සටන්කාමිත්වයත් කොටු කර තැබීමට අසමත් විය. 2010 අගෝස්තු මස 3 වන දින බන්ධනාගාරය තුල මිය යනතුරුම ඇයගේ පන්හිඳ කගපතක්ම විය. තම දේශපාලන අදහස් කවියෙන් මුදාහල අතර , ඒවා ඇමෙරිකානු පීඩිත ජන සමාජය අතර මෙන්ම ලොව පුරා ප්‍රගතිශීලී අදහස් දරන ජනී ජනයාගේ නොමද පැසසුමට ලක්විය. මනෝ විද්‍යාව පිළිබඳව B A උපාධියක්ද , කාව්‍යකරණය පිළිබඳව M A උපාධියක්ද හිමි ඇය උගන්ඩා ජාතික සමාජවාදී කිවිඳියක වූ පෙරී රෝසිගේ "පිටුවහළේ සිට " කාව්‍ය සංග්‍රහය ඉංග්‍රීසි හා ස්පාඤඤ භාෂාවට පරිවර්තනය කළේය. මරිලින්ගේ කවි ඇමෙරිකානු PEN ආයතනයෙන් දුන් සම්මාන තුනකින් පිදුම් ලැබුවාය.
 
මැරිලින් බක් විසින් රචිත " වන පොපි කුසුම " නම් කවියේ සිංහලානුවාදයයි මේ...
 
මගේ මතක අතරෙහි රැඳී ඇත තවම - 
රතුම රතු පොපි කුසුම 
තක්සලාව පිටුපස නිදැල්ලේ මුකුලිත වුණ 
අවැසි නොවී මට එහි යාමට 
එදා ලොල්වීම මා බෝ සේ ඒ දකිනට -
ඇබ්බැහිව සිටියෙමි...
සිත්තම් කරමින් තුරු ලතා ඉඳි 
මගේ කුටියේ කවුළුව ළඟ 
සිදුවීද කුමක් නම් ...? 
ඒ මැග්නෝලියා තුරු වදුලට 
අනේ ඒ දැරියට ....
පියමැන්නෙමි තක්සලාවට 
මිදී මා පියාගේ අසනී වර්ෂාවෙන් 
කැරලි ගැසුවෙමි ප්‍රභාවෙන් මත්වුනෙමි 
වියට්නාම් සංග්‍රාමය ..කළු බලය ..චේ
රැගෙන ගියෙමි මා චිකාගෝ වෙත 
කළු ජාතිකයින්ට වෙන්වූ අපේ නගරයට 
මැදියම් රෑ අඳුර අතරින් 
අධිෂ්ඨානයේ අතුල් පහර ලදිමි
කැලිෆෝනියාවට ගියෙමි හිමිදිරි උදයක 
කඳු අතර සැරිසැරුවෙමි 
උගතෙමි කිමද අධිෂ්ඨානයේ අරුත ...
හදපත්ලෙන්ම වටහා ගත්තෙමි 
ඒ නම් සුදු තරුණියක සිත බියපත් කරවන්නෙකි 
විඳිමි මගේ ඔදතෙද - භාවිතය ප්‍රබලය
අනතුරව 
සැන් ප්‍රන්සිස්කෝහි පුල්ටන් වීදියේ 
පියගැට පෙළ මත තොල ගාමින් බියර් 
බ්ලැක් පැන්තර් වරුන් සුදු හිපියන් සමග 
සංවාද කලෙමි නිබඳව 
එන දිනය පිලිබඳ විප්ලවය 
අපි බලා සිටියද කොතෙක් ...
විප්ලවය නොපැමිණියද 
ප්‍රේඩ , බෙනට් අතුරුදන් වුනි 
පසුව උන් හමු වුනු බව ඇසීමි 
අළු , ඇටකටු හා මගුල් මුදුවක් සමග 
පසුව අප 
විමුක්තියේ අකාස්මික මදහස දුටිමි...
ඉදින් මාගේ වාරයද එළඹුණි 
කටුක වදයෙන් පිරි 
ජරපත් සිපිරි කුටියක 
මාද රඳවන ලදිමි...
ජීව ගුණය සිඳී යනයුරු අත්දුටිමි 
ඒ ද මේ අනේකවිද අතවරයන් මැදය 
දිවි ගලවා ගැනීමට වරම් ලදිමි 
ඔව් මම දිවි රැකගතිමි 
ඉනිදු නොනැවතී මමද 
මේ මිහිමව් ලමැදට මුල් ඇදුනි
සවිමත් තණ පඳුරක් සේ වීමි 
රතුම රතු පොපි කුසුමක් වීමි 
ඉදින් හදපුරා ඒ ගැන තුටු වීමි..


                                                          - චූලක බණ්ඩාරවත්ත -

No comments:

Post a Comment