Saturday, December 5, 2015

විඩාපත් කළු මනස ප්‍රභාමත් කළ ස්ටීව් බිකෝ


 " අප අව්‍යාජ මිනිසත් බව සොයා යෑමේ මගට පිවිස ඇත. කොහේ හෝ දුර ඈත ඉසව්වක ප්‍රභාමත් විජයග්‍රහණය අපට දැකගත හැකිවනු ඇත. " එසේ කියන්නේ ස්ටීව් බිකෝය.

බොහෝ මිනිසුන් සාමාන්‍ය ලෙස මෙලොව උපතලබා කිසිදු හැලහැප්පීමකින් තොරව ජීවිතයේ කිසිදු සලකුණක් නොතබා මෙලොව හැරයති. නමුත් අතලොස්සක් දෙනා උල්කාපාතයක් සේ මහා හඬ නගමින් මිහිමතට කඩාවැටී පෘතුවියම දෙදරවා , මහා ආවාට දසත ඉතිරිකර , සැනෙකින් නිවී යති. ඔවුන් ජීවත්වන්නේ සැබවින්ම කුඩා නිමේශයක් වුවත් , මානව වර්ගයා මේ මිතලයේ පවතින තුරු , මානව ඉතිහාසයෙන් මැකීයාමට ඉඩ නොදෙන , මිනිසුන්ට ආදරය කරන මිනිසුන්ගේ සිත් සතන් තුල ඔවුන් සදාදරණීය මතකයන් බවට පත් වේ. සැබෑ මිනිසුන් ඔවුන්ට ගරුබුහුමන් දක්වයි. නැවත නැවතත් ඔවුන්ගේ නිර්භයත්වයෙන් , වීරත්වයෙන් පිරී ගිය ඉතිහාසය කියවයි . ඉන් වර්තමානයට උගත හැකි පාඩම් උකහා ගනී. ඉන් සටන් පෙරමුණු පන්නරය ලබයි.
 
වර්භේදවාදී මිලේච්ච අතීතයක් සමග අනෙක විධ දුක්ක දොම්නස් මැද හැදී වැදුණු දකුණු අප්‍රිකානු කළු ජනතාව උදෙසා සටන් කල ස්ටීව් බිකෝ ද එම සමාජය පමණක් නොව ලොව පුරා නිදහස් සටන්කාමීන් කුල්මත් කල වීරයෙකි. ඔහු දකුණු අප්‍රිකානු විමුක්ති අරගලයට පන පෙවූ නායකයෙකු පමණක් නොව, අනාගත නව දකුණු අප්‍රිකාවක් සඳහා මග කිවූ නියමුවාද විය. ඔහු ජීවත් වුයේ වසර තිස් එකක් තරම් කෙටි කාලයකි. වෙනුර , ත්‍රීමා , බාලේ , තිලීපන් ගේ පරපුරේ විශ්වීය ලකුණකි. මානව ඉතිහාසයේ එක බිහිසුණු යුගයක අඳුරු සෙවනැලි මකා දමනු වස් ඔහුගෙන් නික්මුණු ආලෝකය නිදහස් අරගලයේ සැබෑ නියමුවන් හට සදාතනකි මග කියන තරුවකි.
 
ස්ටීව් බිකෝ ඉපදුනේ දකුණු අප්‍රිකාවේ කේප් තුඩුව ආසන්නයේ පිහිටි කුඩා නගරක් වූ කින් විලියම් නගරයේ මුඩුක්කුවකය. කුඩා කල සිටම ප්‍රගතිශීලී අදහස් වලින් පෝෂණය වූ ඔහු , අධ්‍යාපනය හොඳින් හදාරා ඩර්බන් හි නතාල් වෛද්‍ය විද්‍යාලයට ඇතුල් විය. එහෙත් වර්ණභේදවාදය හිස එසවීමත් සමගම කළු ශිෂ්‍යයින්ට අධ්‍යාපනය නපුරු සිහිනයක් පමණක්ම විය. ජයග්‍රහණයට ඇති එකම මාවත නොනවරත අරගලය බව පසක් කොටගත් බිකෝ ඇතුළු කළු ජාතික ශිෂ්‍ය ප්‍රජාව විසින් දකුණු අප්‍රිකානු ශිෂ්‍යය සංවිධානය පිහිටුවා ගනු ලැබීය . ශතවර්ෂ ගණනාවක වහල් බැමි වලින් බැඳී , තම සමේ වර්ණය නිසාම යටත් වීමට සිදු වූ ලක්ෂ සංඛයාත ජනතාවකට ජීවය ගෙන දීමට බිකෝ ගේ ජව සම්පන්න තරුණ කම හේතු විය. කළු මිනිසුන්ගේ මිනිසත් කම අහෝසි කල නොපනත් සුදු පාලනයට එරෙහිව සටන මෙහෙය වීමේ පුරෝගාමීක් බවට පත් වීමත් සමගම , ස්ටීව් බිකෝ පසු පස දඩබල්ලන් සේ සුදු ජාතික පොලිසිය ලුහු බැන්දේය. මුනින් වැටී සිටි ජනයා කෙලින්කළ මිනිසා වර්ණභේදවාදී ආණ්ඩුවේ නොම්මර එකේ සතුරා බවට නිතැතින්ම පත් විය.
 
බිකෝ තම ජනයා අන්ධ භක්තියෙන් විමුක්ති අරගලය වෙත කිසි විටක මෙහෙය වුයේ නැත. I WRITE WHAT I LIKE කෘතිය තුලින් රටේ ජනතාවට අවබෝධ කරවුයේ "අපේ සටන් මග "කුමක් අරබයාද යන්නය. බිකොගේ තරුණ අදහස් , සංකල්ප අරගලයේ ගාමක බලවේගය වූ තරුණ තරුණියන් ප්‍රගතිශීලී අදහස් වලින් පෝෂණය කළේය.
 
" සියල්ලන්ටම ප්‍රථමයෙන් සුදු මිනිසුන් උසස් ජාතියක් නොව ඔවුන්ද අනෙත් මිනිසුන් මෙන් සාමාන්‍ය මිනිසුන් බව වටහා දිය යුතුය. එමෙන්ම කළු ජාතීන්ට , ඔවුන්ද පහත ජාතියක් නොව සාමාන්‍ය මිනිසුන් කොට්ඨාශයක් බව මතක් කර දිය යුතුයි. " යනුවෙන් ඔහු පැවසුවේය. 
 
වර්ණභේදවාදය යනු සුදු අධිරාජ්‍යයවාදය විසින් කළු මිනිසුන් සුරාකෑමසඳහා අටවන ලද්දක් බව බිකෝ ජනතාව අමතමින් කියා සිටියේය. සුදු මිනිසුන්ට වරප්‍රසාධ භුක්ති විඳීමටත් කළු ජාතිකයින්ට ශ්‍රමය වැගිරීමත් සිදු වීම ධනේශ්වර ක්‍රමයේ විකෘතිභාවය පෙන්වීමක් මිස වෙන කුමක්දැයි ප්‍රශ්න කළේය. බිකෝ ගේ මතවාදය අප්‍රිකානු පෑගී මිරිකී සිටි සමාජයට අතිශය බලපෑමක් කළේය.
 
1978 ජුනි මස 16 වන දින සොවෙටෝ හි උසස් පාසලේ සිසුන් තම අයිතීන් වෙනුවෙන් වීදි බසින් සටන් කළේය . එයට සුදු ජාතික ආණ්ඩුවේ පිළිතුර වුයේ 700 කට ආසන්න නිරායුධ සිසුන් අමානුෂිකව මරා දැමීමෙනි. මෙම සිදුවීමත් සමගම බිකෝ මරා දැමීම සඳහා මෙහෙයුම ආරම්භ කළේය.

 1977 අගෝස්තු මස 21 වෙනි දින බිකෝ තම සගයින් සමග රහසි ගත ස්ථානයකදී දේශපාලන සාකච්චාවකට සහභාගී විය. එය අවසන් කර පැමිණෙද්දී අතර මග හමුදා බාධකයකදී අත්අඩංගුවට ගෙන පොර්ට් එලිසබෙත් දේශපාලන සිර කඳවුරට ගෙන ආවේය. දින 25 ක් එහි රඳවා ගෙන නිරාහාරව තබා දෙතිස් වද දී සිටියදී බන්ධනාගාර වෛද්‍යවරයා ගේ ඉල්ලීමකට අනුව රෝහල වෙත රැගෙන ගියේය. එහෙත් අමානුෂික පාලකයන් විසින් මරණාසන්නව සිටි බිකෝ රෝහල් ගත නොකර පැය දොළහකට වඩා ජීප් රථයක නංවා කිලෝ මීටර් එක්දහස් දෙසීයක් දුර ප්පිහිටි ප්රිටෝරියා කඳවුරට රැගෙන ගියේය. දුෂ්කර ගමනත් , තබල අසාධ්‍ය තත්වයත් නිසා කඳවුරට ලඟා වී පැයකින් පසුව සීතල සිමෙන්ති පොළොවක තම ජනතාවට ආදරය කිරීමේ වරදට මෙලොවින් සමුගත්තේය. ඇත්ත වශයෙන්ම කළු අප්‍රිකානු අරගලයට මග කිවූ සැබෑ නායකත්වය් ස්ටීව් බිකෝය . ඔහුගේ රුධිරය මතින් ජය කොඩි එසවූයේ මැන්ඩෙලා වැනි අවසානයේ නිෂ්ක්‍රීය වූ පුද්ගලයින්ය.

                                                                 
                                                                  - චූලක බණ්ඩාරවත්ත -

No comments:

Post a Comment