Wednesday, December 2, 2015

සැල්වදෝර් අයියන්ඩේ



ඉතිහාසය යලි යලිත් සිදුවෙමින් පවතී. ලෝක ඉතිහාසයේ සැප්තැම්බර් 11 වෙනිදා ඉතිහාසයේ මෙන්ම වර්තමානයේ ජීවත්වන බොහෝ පිරිසකට අමතක නොවන දවසකි. 2001 සැප්තැම්බර් 11 වෙනිදා ඇමෙරිකාවේ නිව් යෝර්ක් නගරයට එල්ල වූ රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ මහා ප්‍රහාරයෙන් මුළු මහත් අමෙරිකාවම හෙල්ලුම් කෑ පරිදිමි , එම කලාපයේම තවත් එක දේශයක් වූ චිලි හි ඉන් වසර 28 කට පෙර එනම් 1973 එවැනිම දිනයක. එවැනිම අඟහරුවාදා දිනක ඇමෙරිකානු රාජ්‍ය ත්‍රස්ත්වාදීන්ගේ ප්‍රහාරයකින් එහි රජයද , සියලුම දේපලද , අමිල මිනිස් ජීවිත දහස් ගණනින්ද විනාශ කර දැමීය.

ලෝක සමාජවාදී ඉතිහාසයේ නීත්‍යානුකුල ලෙස මැතිවරණයකින් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ජනපති පදවියට පත් ප්‍රථම මාක්ස්වාදී නායකයා වුයේ සහෝදර සැල්වදෝර් අයියන්ඩේ ය. ලතින් ඇමෙරිකාව පමණක් නොව සමස්ත ප්‍රගතිශීලී ලෝකයම එකී ජයග්‍රහණයෙන් උදම් ඇනීය.එහෙත් ඇමෙරිකානු දුෂ්ඨ දේශපාලනය සැල්වදෝර් අයියන්ඩේ ගේ ජයග්‍රහණයෙන් වියරු වැටුණි. ලතින් ඇමෙරිකානු දේශපාලන සිතියම තමන්ට රිසි පරිදි එලීමට බාධාවක් වැටී ඇති බව වටහා ගත පෙන්ටගනය හා ධවල මන්ධිරය ලහි ලහියේ චිලි සමාජවාදී පාලනය විනාශ කිරීමට සියලු කටයුතු සුදානම් කළේය. එවකට ඇමෙරිකානු ජනපති රිචර්ඩ් නික්සන් ගේ ප්‍රධානත්වයෙන් කැඳ වූ 40 කමිටුවේ මුලික අරමුණ වුයේ චිලි දේශයේ බලය කුමන්ත්‍රණයකින් බිඳ හෙලීමය. එම කඩාකප්පල් කිරීමේ සැලසුමේ ප්‍රධානියා ලෙස පත් කරන ලද්දේ බොහෝ කුමන්ත්‍රණ අත්දැකීම් ඇති සි අයි ඒ ප්‍රධානියෙකු වූ හෙන්රි කිසින්ගර් ය. මෙම කඩා කප්පල් කිරීමේ ක්‍රියාන්විතය සඳහා මුලින්ම ඇමෙරිකානු ඩොලර් 125,000 ක් වෙන් කරනු ලබන්නේද මෙම රැස්වීම තුලය. එතැන් පටන් අයියන්ඩේ විරෝධී ප්‍රචාරණයන් වෙනුවෙන් ඩොලර් මිලියන ගණනක විශාල ධනස්කන්ධයක් ඇමෙරිකාව විසින් චිලි රට තුල වියදම් කළේය. , ආර්ථික සම්බාධක දැමීමෙන් නොනැවතී මැතිවරණ කඩාකප්පල් කිරීම දක්වා ඔවුහු සියලු ප්‍රයත්නයන් දැරීය.

1970 සැප්තැම්බර් 4 වන දින පැවතී චිලි ජනපතිවරණයෙන් සැල්වදෝර් විසින් පරාජයට පත් කරන්නේ එරට ප්‍රධාන දක්ෂිනාංශික නායකයා වූ ජාතික පක්ෂ අපේක්ෂක අලෙසැන්ද්‍රි ය. පොපියුලර් යුනිටි පක්ෂයේ අපේක්ෂක අයියන්ඩේ සමස්ත මැතිවරණ ප්‍රතිපලවලින් 36,3 ක් ලබා ගනිමින් එරට බලයට පත් විය. එතැන් පටන් චිලි දේශයේ සමාජවාදී පාලනය බිඳ දැමීම පිණිස රිචර්ඩ් නික්සන් විසින් එවකට සි අයි ඒ අධ්‍යක්ෂ හොල්ම්ස් වෙත විවිද සැලසුම් බාරදෙමින් හමුදා කුමන්ත්‍රණය දක්වා ක්‍රියාන්විතය ඉදිරියට ගෙන ආවේය. 

අයියන්ඩේ ගේ පත්වීමත් සමගම තවත් කියුබාවක් දකුණු ඇමෙරිකානු කලාපය තුල බිහි වීම තුල ඔවුනගේ අධිරාජ්‍යවාදී සුරාකෑම තව දුරටත් අහෝසි වීමත් , නැටෝ සංවිධානයට හිතවත් අනෙකුත් රටවල් තමන් හැර යන බවට ඇති වූ අනියත බියත් හේතුවෙන් චිලි පාලනය විනාශ කිරීම උදෙසා ගත හැකි සියලුම උත්සාහයන් ගනු ලැබීය. මේ අතර රට තුල ඇති සියලුම ඇමෙරිකානු සමාගම් හා තඹ ආකාර ඇතුළු සියලුම පතල් ජනසතු කරන බවට නව ජනපතිගෙන් අයිතිහාසික නියෝගයක් ද එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරනු ලැබීය. දන්ඩෙන් පහර කෑ සර්පයෙකු ලෙස කිපුණු ඇමෙරිකානු බලාධිකාරිය කෙසේ හෝ නව සමාජවාදී පාලනය බිඳ දැමීම යුතු බවත් ඒ වෙනුවෙන් අවශ්‍ය කොපමණ මුදලක් වුවද ඇමෙරිකානු කොන්ග්‍රශයෙන් සම්මත කරන බවටද දිවුරා ප්‍රකාශ කරන ලදී. සැල්වදෝර් අයියන්ඩේ හා පිදෙල් කස්ත්‍රෝ අතර ඇති වූ නොබිදෙන බැඳීමකි. ඔහුගේ ජයග්‍රහණය පිටුපස සිටි යෝධ සේවනල්ලද වුයේ සහෝදර පිදෙල්ය. 1971 පෙබරවාරි 12 වෙනි දින කියුබාව හා චිලිය අතර අත්සන් කෙරුණු ඩොලර් කෝටි දෙකක වෙළඳ ගිවිසුමද ධවල මන්ධිරය ගිනි ගත් පුවතක් විය. එමෙන්ම නව සමාජවාදී ජනරජයේ ආරාධනාවෙන් පැමිණි පිදෙල් කස්ත්‍රෝ පිළිගැනීමට ලක්ෂ සංඛ්‍යාත ජනකායක් සන්තියාගෝ නගරයට පැමිණ ඔල්වරසන් හඬ නැගීය. මේ කිසිවක් දරා සිටීමේ හැකියාවක් රිචර්ඩ් නික්සන් ඇතුළු යැන්කින්ට නොහැකි විය.


අවසානයේදී හමුදා කුමන්ත්‍රණය සඳහා සියලු කටයුතු සුදානම් කළේය. එහි නායකත්වය වශයෙන් තෝරාගනු ලැබුවේ ඇමෙරිකානු ඩොලර් ඉදිරියේ දනින් වැටී තම දේශය පාවාදුන් එරට හමුදා නායක ඔගස්ටෝ ෆිනොචේ ය. සැල්වදෝර් අයියන්ඩේ රැඳී සිටි මොනේඩා ජනපති මැධුර චිලි කුමන්ත්‍රණකාරී හමුදා විසින් වටලන ලදී. ඒ මොහොතේදී ජනපති සැල්වදෝර් අයියන්ඩේ ජනපති මැධුර තුල සිටියේය. ගුවනින් හා ශබ්ධ විකාශන යන්ත්‍ර වලින් හඬ නගා කිවේ ජනපති පදවිය හැරදමා සහෝදර අයියන්ඩේට යටත් වන ලෙසය. එහෙත් ප්‍රතාපවත් පෞරෂත්වයක් හිමි ජනතා නායකයෙකු වූ ඔහු කිසි සේත්ම යටත් වීමට සුදානම් වුයේ නැත. ජනපති මැදුර වෙත කාලතුවක්කු වෙඩි වරුසාවක් එල්ල කලද තමා මෙන්ම තම හිතෛශීන් කිසිවෙකු යටත් වීමට සුදානම් වුයේ නැත. පිදෙල් කස්ත්‍රෝ විසින් මතක සටහනක් ලෙස ලබාදුන් AK 47 රයිෆලය අතැතිව තම හමුදාවන්ට ප්‍රති ප්‍රහාර එල්ල කරන්නේ කෙසේදැයි අණ දෙමින් ඔහු ජනපති මැධුරේ සිට අවසන් මොහොත දක්වාම කටයුතු කළේය. 


ඉතා හික්මීමෙන් රට පාලනය කල ජනතාවාදී පාලකයෙකු තම ජීවිතයේ අවසාන නිමේෂයෙදී කටයුතු කර ඇත්තේ සතුරු ගිනි මැදට වැටුණු විප්ලවීය සොල්දාදුවෙකු ලෙසය. කිසිම විටෙක සතුරාට යටත් නොවීමට ඔහු චිලි විප්ලවය හා අධ්‍යාත්මිකව බැඳී සිටි විප්ලවීය නායකයෙකු විය. කුමන්ත්‍රණකාරී පාබල හමුදා වෙඩි වරුසා මෙන්ම කාලතුවක්කු වෙඩි මුර වලින් නැගුනු හඬින් සන්තියාගෝ නගරයම ගිගුම් දෙන්නට විය. අවසානයේදී ඇමෙරිකානු සි අයි ඒ සන්විධානය් විසින් මෙහෙය වූ කුමන්ත්‍රණයේ නායකයා ජයගත්තේය., ඔහුගේ හමුදා මොනේඩා මන්ධිරයට ඇතුළු විය. සහෝදර අයියන්ඩේ තම අතිජාත මිත්‍රයා ප්‍රධානය කල රයිෆලයෙන් හිසට වෙඩි තබා ගෙන මියගියේ ධනපති අධිරාජ්‍ය ඉදිරියේ දනින් නොවැටෙන බවට සපත කරමිනි.


ඔහුගේ මරණයෙන් පසුව සමාජවාදී පාක්ෂිකයින් දස දහස් ගණනින් ෆිනොචේ ගේ ආඥාදායකත්වය තුල මරා දමන ලදී. එම මරාදැමූ ජනතාව අතර ලොවක් ආදරය කල මහා කලාකරුවෙකුද විය. ඔහු නමින් ජනතා ගායක ලෙස විරුදාවලිය ලත් වික්ටර් හාරා ද විය. 1972 සාහිත්‍ය සඳහා නොබෙල් ත්‍යාගයෙන් පවා පිදුම් ලැබූ පැබ්ලෝ නෙරුඩා කුමන්ත්‍රණකරුවන් අතින් මිය නොගියද , තම සහෝදර නායකයානගේ මරණයෙන් ඇති වූ කම්පනයෙන් ඔහු මහත්සේ කායික හා චිත්ත පීඩාවෙන් කල් ගෙවීය. ඔහුගේ මරණයට ආසන්නම හේතුව සහෝදර අයියන්ඩේ ගේ වියෝව බව පසුව හෙළි විය. ඒ බව නෙරුදාගේ ප්‍රිය බිරිඳද , වික්ටර් හාරාගේ බිරිඳද හෙලිකල තොරතුරු වලින් ලොවට අනාවරණය විය.

                                                                                                     - චූලක බණ්ඩාරවත්ත -

No comments:

Post a Comment