Sunday, December 13, 2015

ලොව බිහිසුණු එකාධිපතියෝ : පිලිපීනයේ මාකෝස්

ෆර්ඩිනන්ඩ් එමානුවෙල් එද්රලින් මාකෝස් උපත ලබන්නේ පිලිපීනයේ සරට් නගරයේ වර්ෂ 1917 සැප්තැම්බර් 11 වන දිනකය. උපතින්ම දේශපාලන පව්ලකට හිමිකම් කි ඔහුගේ පියා වූ මරියානෝ, පිලිපීන පාර්ලිමේන්තුව නියෝජනය කල මන්ත්‍රී වරයෙකි. 1935 පැවති මැතිවරණයෙන් සිය පියාගේ ප්‍රතිවාදියා වූ ජුලියෝ නාලුන්ඩන්සන් විසින් ඔහු පරාජය කළේය. ඉන් වියරු වැටුණු මාකෝස් ඇතුළු සොහොයුරන් ඔහු වෙඩි තබා මරා දැමීය. ඇසින් දුටු ශාක්ෂි වලට අනුව වෙඩි පහර එල්ල කලේ මාකෝස් බවට උසාවියේදී තීන්දු විය. ඉන් පසුව ඔහුට හා සොහොයුරන්ට මරණීය දණ්ඩනය හිමි වුවද පසුව උසාවියට ඉදිරිපත් කල ඇපෑල මගින් ඔවුන් නිදහස් ලෝකයට පිවිසුණි.

ඉන් පසුව නීති විද්‍යාලයට එක් වී නීතිය පිළිබඳව උපාදියක්ද ලබා ගනිමින් ලෝක යුද්ද සමයේ පිලිපීන හමුදාවටද සම්බන්ද විය. ජපන් ආක්‍රමණය ඉදිරියේ නව ගරිල්ලා සන්විදානයක් බිහිකරමින් සාමජිකයින් 9000 ක් සමග ජපන් ආක්‍රමණිකයාට එරෙහිව සටනේදී නායකත්වය දුනි. ලෝක යුද්දය අවසන් වීමත් සමගම පිලිපීනය ඇමෙරිකානු යටත් විජිතයක් බවට පත් විය. ඔහුගේ දේශපාලන ගමන ආරම්භ වන්නේ ඉන් අනතුරුවය. පිලිපීන ලිබරල් පක්ෂය නියෝජනය කරමින් මැතිවරණ කිහිපයක්ම ජය ගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, සෙනෙට් සභිකයෙක් ලෙසද කටයුතු කරමින් ජනපති අපේක්ෂකත්වය කරා වේගයෙන් පැමිණියේය. අවසානයේ ඔහු පිලිපීන ජනපති ලෙස ඇමෙරිකානු මුල්‍යාධාර මත හැකි විය. ඔහුගේ පළමු කාර්ය වුයේ වියට්නාම් සමාජවාදී විප්ලවය පරාජය කිරීමට දකුණු වියට්නාමයට පිලිපීන හමුදාවන් යැවීමය. ඔහු 10000 ක හමුදාවක් සමාජවාදී වියට්නාමයට එරෙහිව සටන් වැදීමට යැවීය.


 1969 නැවත මැතිවරණයක් පවත්වා ඔහු ජයගත්තේය. එය අන්ත දුෂිත , භීෂණය දියත් කල ප්‍රෝඩාකාරී මැතිවරණයක්ම විය. ඒ වෙනුවෙන් ඔහු පිලිපීන භාණ්ඩාගාරය සතු ඇමෙරිකානු ඩොලර් මිලියන 56 ක් වියදම් කර තිබුණි. ඉන් අනතුරුව ආරම්භ වුයේ ඒකාධිපති වියරුවෙන් රටේ පාලනය ගෙන යාමය. එයට එරෙහිව සංවිධානය වූ පිලිපීන කොමියුනිස්ට් පක්ෂය ඔහුගේ නින්දිත පාලනයට එරෙහිව සන්නද්ධ අරගලය දියත් කළේය. 1972 දී මාකෝස් විසින් රට පුරා මාෂල් නීතිය පනවමින් සිය විරුද්ධ වාදීන් , ශිෂ්‍ය ව්‍යාපාර මර්ධනය කිරීම ආරම්භ කළේය. සිය ප්‍රතිවාදීන් වූ ලොපෙසස්, ජෝවිටෝ සලේන්ගා , ජොසේ දියෝක්නෝ වැනි දේශපාලන පක්ෂ නායකයින් දින නියමයක් නොමැතිව සිර කර තැබීය. සිය ප්‍රධානතම ප්‍රතිවාදියා වූ බෙනිග්නෝ අකිනෝ රටින් පිටුවහල් කල අතර, නැවත වසර තුනකට පසුව ඔහු සිය රටට පැමිණෙද්දී ගුවන් තොටු පලේදී වෙඩි තබා ගාතනය කර දැමීය. ජනමාධ්‍ය නිහඬ කරමින් රාජ්‍ය ජනමාධ්‍ය පමණක් රට තුල ක්‍රියාත්මක කළේය. මේ කෘර පාලනය අනුමත කරමින් ඇමෙරිකාව 1972 සිට 82 දක්වා කාලය තුල ඇමෙරිකානු ඩොලර් බිලියන 2,5 ක යුධ හා ආර්ථික ආධාර ලබා දී තිබුණි. විශේෂිත සිදුවීමක් ලෙස 1981 දී දෙවන් ජෝන් පාවුළු පාප් වහන්සේද ඔහුට ආශිර්වාද කිරීමට පැමිණීම සඳහන් කල හැක.


 මහා භාණ්ඩාගාරය සතු ජනතා මුදල් ප්‍රසිද්දියේ මංකොල්ලකෑම වසා ගැනීමට විවිධ ආකර්ශනීය නම් යොදමින් නාමික සංවර්ධන යෝජනා ක්‍රම දියත් කළේය. ඔහු එය පුර්වාදර්ශයක් කරගත්තේ ඉන්දුනීසියානු ඒකාධිපති දුෂ්ඨ පාලකයෙකු වූ සුහර්තෝ ගෙන ගිය " නිව් ඕඩර් "  ප්‍රතිපත්තියයි . 
( වර්තමානයේ අප දකිමින් සිටින්නේද එයයි. ) ඔහු අයුතු ලෙස උපයාගත් මුදලින් ඇමෙරිකාවේ ක්‍රව්න් ගොඩනැගිල්ල ඇතුළුලොව පුරා බිලියන ගණනක් වටිනා වත්කම් වලට හිමිකම් කිය. ඔහුගේ පාලනය තුල සිය පව්ලම ආසියාවේ මහා ධනකුවේරයන් බවට පත් වුයේ ජනතා මුදල් සොරාකමිනි.

 
 ඔහුගේ අවසන් කාලයේදී වැළඳුනු අක්මා රෝගී තත්වයෙන් පසුව නොනිල ලෙස රට පාලනය කරන ලද්දේ සිය බිරිඳ වූ ඉමෙල්ඩා මාකෝස් විසිනි. ජනතාව සමච්චලයට ලක් කරමින් සුර සැප විඳි කාන්තාවක් ලෙස ඇය පසුව ලොව පුරා ප්‍රචලිත විය. ජනතාව විසින් ජනපති මන්ධිරය වටලන අවස්තාවේදී ඇය විසින් පාවිච්චි කරන ලද සපත්තු කුට්ටම් 2700 ක් සොයා ගත හැකි වීමෙන් ඔවුන්ගේ ජීවිත ගැන කදිම ලෙස වටහා ගත හැක. සිය පාලනය තුල දරාගත නොහැකි ලෙස ජනතාවට පීඩනය එල්ල වූ අතර මාකෝස් ගේ අවසානයද එහා සමගාමීව ආරම්භ විය. ජනතාව පීඩනය දරාගත නොහැකි වූ අවස්ථාවේ ඇති එකම විසඳුම කැරලි ගැසීමය. ජනතාව යුක්ති සහගත පාලනයක් වෙනුවෙන් සටන් වැදීමය. එය පිලිපීනයේදී මාකෝස් ගේ කෘර පාලනයට එරෙහිවද සිදු වුයේ ඉතිහාසයේ සිදුවීම් නැවත නැවතත් සමගාමීව සිදුවන බව පසක් කරමිනි.

 කොරසෝන් අකිනෝ හා සැල්වදෝර් ලොරෙල් ගේ නායකත්වයෙන්
 " මහජන බලය " ව්‍යාපාරය ගොඩනගමින් ලක්ෂ සංඛායත ජනතාවක් වීදියට කැඳවීය. එම උත්ගොෂණ රැල්ලට බියවී මාක්සෝ හා සිය බිරිඳ ධවල මන්ධිරයෙන් උදව් ඉල්ලා සිටියේය. පම්පන්ගා නම් ඇමෙරිකානු ගුවන් හමුදා කඳවුරට රැගෙන ආ මාකෝස් ඇතුළු සහචරයින් පසුව හෙලිකොටර් හතරකින් ඇමෙරිකාවේ ගුවාම් ගුවන් තොටුපලට රැගෙන ආවේය. එහි සියලුම රහස්‍යම වැඩ කටයුතු සි. අයි. ඒ. සංවිධානය විසින් සැලසුම් කර තිබුණි. එක්සත් ජනපද රෙගු වාර්තාවලට අනුව රත්රන් පොලු සුට්කේස් 24ක් , දියමන්ති හා ආභරණ සහිත බෑග් , ඩොලර් මිලියන ගණන් වටිනා තැන්පතු, රැගෙන විත් තිබුණි. රොනල්ඩ් රේගන් විසින් එම අති විශාල ධන්ස්කන්දයද සමග ඇමෙරිකාවට අයත් හවායි දුපතේ ඔහු මිය යන තුරු නිරුප්‍රදිතව සිටීමට අවසර දී තිබුණි.

 1989 සැත්තැම්බර් 22 වෙනි දින තවත් ප්‍රජාපීඩක එකාධිපතියෙකුගේ භූමිකාව නිමාවට පත් වුයේ අක්මාව අක්‍රීය වීමෙනි.


                                                                                              - චූලක බණ්ඩාරවත්ත -




Thursday, December 10, 2015

මරණ තුනක් ඇති මිනිසා.....















සිංහල සුභාවිත ගී මංසල තුළ අමරණීය මතක සටහන් තැබූ පිරිස් අතුරින් රන්බණ්ඩා සෙනෙවිරත්නයන් මෙන්ම ලුෂන් බුලත්සින්හලයන්ට හිමි වෙන්නේ අද්විතීය තැනකි. 
මිනිස් ජීවිතය දෙස ඇස නොගැසුණු ඉසව් සොයා ගවේෂණාත්මක ලෙස පද්‍යකරණයේ නියැලුණු විරල ගනයේ පදරචකයන් දෙපලක් ලෙසද හැඳින්වීම අසාධාරණයක් නොවන බව මට හැඟේ. රන්බණ්ඩා සෙනෙවිරත්න ඔහු ගේ "ළඳුනේ "ගීතය තුළ මෙසේ ලියන්නේය

ලය පමණක් ලොවට පෙනෙන 
ලය නොපෙනෙන ළඳුනේ .....

කප්පරක් වැරදි සිදුවන සමාජයක, ඒ සමාජයේම පිරිස් විසින් පිළිකෙව් කරන තවත් එක් මනුෂ්‍ය ආත්මයක් දෙස සැබෑ මිනිසෙකු ලෙස බලන ආකාරය අපට ඔහු පෙන්වයි . ලුෂන් බුලත්සිංහලද සෞන්දර්යයේ රීතින් අතික්‍රමණය කරමින් මිනිස් ආත්මයට කිඳා බසින්නේ අපගේ හදවත් මොහොතකට නතර කරමින්ය. එයයි නිර්මාණකරුවෙකුගේ කලාකරුවෙකුගේ සැබෑ පෞරෂත්වය.


ලුෂන් අතින් ලියවුනු මේ ගීතයේ යොදා ඇති උපමා රූපක මෙන්ම ඉපැරිණි සාහිත්‍යයේ ඇති සියුම් තැන් ආභාෂයෙන් ලබාගත් දැනුම , මිනිස් සිතේ ගැඹුරුම පතුලින් නැගෙන හැඟීම් පිළිබඳව උද්දීපනය කිරීමට යොදාගෙන ඇත. ගීතයට ප්‍රවිෂ්ඨය තබන්නේ පැරණි ජනකවියකින් මතුවන චිත්ත රුපකයකින්ය .

" වනේ ගිජිදාය දුටුවොත් වනසාය 
 
ලිඳේ පනිදාය වැටුනොත් ඌ කාය 
 
අතකින් කරවැලකි අතකින් දඬුබෑය 
 
මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑය "

මේ ගීතය රසවිඳීමට නම් අපට උපකල්පන යොදාගත යුතුමය . එය ගීයේ යතාර්තයට වඩා උචිත ප්‍රවේශයක් වනු ඇත. සමාජයේ අප බොහෝ විට වැඩිහිටියන්ගේ තිරිසන් ආශාවන් වෙනුවෙන් හිරිමල් කැකුළු බිලිගන්නා පුවත් නොඇසෙන දවසක් හෝ වෙලාවක් නැති තරම්ය. මේ ගීය තුලින් කියවෙන්නේ පාසලක සංගීත ගුරුවරයෙකු යයි සිතන්න . තමාගෙන් වෙණ වැයුමට පැමිණෙන හිරිමල් යුවතියදෙස රාගයෙන් මුසපත්වූ නිරුවත් වූ දෑසින් බලන ගුරෙකු දෙස ලුෂන් දකින්නේ මෙලෙසය ...

" මිනිසා .....මරණ තුනක් ඇති මිනිසා ..බලාසිටී ...

නිරුවත් දෑසින් බලන්න..... කන්‍යාවී ...

ලිහිල් සළුව අනතුරේ වැටෙද්දී 
 
පයෝදර තුඩු ඉකිබිඳිද්දී ...සන්තාශයෙන් ..."

මේ මිනිසා ඉදිරියේ ඇත්තේ මරණ තුනකි. තමා , බිරිඳ හා දරුවන්ය . මොහු විවාහක පියෙකි. තමන්ගේ ආත්මය තුල සැරිසරන රාගික සිතුවිලි මෝහනය වන්නේ තම ගෝලයාගේ වීණාවෙන් නැගෙන මධුර ස්වරයෙනි. ඔහුගෙන් නැගෙන අසංවේදී සුසුම් පොද වීණාවේ රිද්මය පරයා නැගී ඒ...යතාර්ථයට අනුව අති අමානුෂික සිදුවීමකට ඉස්මත්තේ සිටිමින් ලුෂන් වඩා ඉස්මතු කරන්නේ මිනිසාගේ සිතය. මේ ගීය පියදෝර් දොස්තොව්ස්කිගේ පොතක් බඳුය. තම දියණිය විය යුතු හිරිමල් කැකුල ඔහුගේ නග්න වූ ආශාවන් ඉදිරියේ මෝහයෙන් අන්ධවී ඇත. වීණාවේ තත් අතර වේගයෙන් දිවයන සියුමැලි අතැඟිලි ඔහු ගේ වත ස්පර්ශකරන්නාක් මෙන් දැනෙනු ඇත. තව තවත් වයන්න ...කන්‍යාවී ....අසන්වාදී රිද්මයෙන් ....යැයි ලියවෙන්නේ ඒ නිසා විය හැක.

" නියඟලා මල් පාට දේදුනු 
 
දෙබෑ කරගෙන එනු ...ගිරා පොව්වන් 
 
පියුම් කැකුලක් තුඩින් පාරා 
 
බලෙන් පුබුදන හංසයා .....

බලන්න නිරුවත් දෑසින් ."

මේ පදපෙලට නියඟලා මල උපමා රුපකයක් ලෙස යොදාගැනීම උචිතය . මලක් ලෙස නියඟලා කෙතරම් සුන්දරද ? ඒ මල රෝපණය වෙන බිම්ගත අලය කෙතරම් විෂ ගෝරද ? රාගය තුලින් මතුවෙන සිතුවිල්ල කවියා දකින්නේ පාට දේදුන්නක් ලෙසය. ඒ සුන්දර දසුන දෙබෑ කරගෙන මතුවන්නේ නියඟලා මලින් හොට රතු කරගත් ගිරවුන්ය. මෝහයෙන් අන්ධකාර වූ ඔහුගේ මනස සීමා පවුරු බිඳ දමමින් මිනිසත් කම කෙළසා දමන ආකාරය ලුෂන්ගේ සෞන්දර්යාත්මක මනස තුල මැවෙන්නේ මෙලෙසය. හංසයෙකුට නෙලුම් කැකුලක් තම තුඩින් පාරා බලෙන් පුබුදුවාලිය හැකිද යන්න ඔහු ප්‍රශ්න කරයි . . සන්තාශයෙන් ඉකිබිඳින නව යොවුන් වියට එළඹෙන දැරිය මේ අනපේක්ෂිත සිදුවීම ඉදිරියේ අසරණය.

"ඔකඳ වී රිද්මයෙන් 
 
රසා තලය කල එලි ගන්වා 
 
වයන්න වීණා ...කන්‍යාවී ...."

තම ලෞකික ආශ්වාදයන් පිරිමසා ගැනීමට , මිනිසාගේ සියලු බැඳීම් නිමේෂයකින් සිඳ දමන ආකාරය මේ ගීය තුල සිත්තම් කර ඇත. මෙවන් සිදුවීම් මේ ජරාපත් , වියපත් සමාජය තුල අපගේ දෑස් පෙනෙන මානයේ කොතෙක් නම් දිස්වී ඇතිද? මේ රටේ පාසල් තුල ගුරුවරුන් අතින් කෙතරම් සිසුසිසුවියන් කෙළසී ඇතිද ? ඒ පිළිබඳව සමාජය තුල පුළුල් කතිකාවක් ගොඩනැගී ඇතිද ?


  ලාංකේය සංගීතයේ කඩතුරාවන් විවර කළ ගාන්ධර්වයා වූ ප්‍රේමසිරි
 කේමදාස මේ ගීය වෙනුවෙන් තමාගේ ප්‍රතිභාව නොපිරිහෙලා ඉටුකර ඇත. අමරසිරි පීරිස් ගේ මෝහනීය හඬට කෙතරම් වටිනාකමක් ගෙනාවාද යත් " සිරිමැදුර " චිත්‍රපටය වෙනුවෙන් ගැයූ මේ ගීයට 1989 සරසවි සහ ස්වර්ණ සංඛ සම්මාන වලින් "වසරේ හොඳම ගායකයා ලෙසද පිදුම් ලැබීය.

                                                                                - චූලක බණ්ඩාරවත්ත -

ඉතින් රස විඳින්න මේ ගීය 


                                                                   

Sunday, December 6, 2015

කලාව යනු මිනිස් මනසේ පරිකල්පනයක් පමණද ?

 කලා නිර්මාණයක් මිනිස් මනස තුළ ජනිත වීම යනු බාහිර යතාර්ථය තව දුරටත් විකාශනය වීමක් ලෙස හැඳින් විය හැක. කලාව යනු මිනිසාගේ කල්පනා ලෝකයේම දිගුවකි. එය එකිනෙකා සිතන පරිදි නිර්මාණය විවිධාංගිකරණයට ලක් වුවද විකාශනය තුළ මතු වන්නේ තමා දකින බාහිර ලෝකයේ කුමන හෝ පැතිකඩකි. ඇත්තෙන්ම සිතුවිල්ලක උපත යනු බාහිර ලෝකයයේ පරිකල්පනයකි. අප අත්දකින බාහිර ලෝකය බැහැර කර කිසිවක් පැවතිය නොහැකිවාක් මෙන්ම කලාවද එයට අසීමිත ලෙස බද්ධ වී ඇත.

බාහිර යතාර්ථයෙන් ව්‍යුක්තව නිර්මාණ කරුවෙකුට සිය අදහස කලා කෘතියකට ඇතුළත් කළ නොහැක. මිනිසා කිසි දිනක අත් නොදුටු දෙයක් ඔහුට සිය නිර්මාණයට අනුගත කළ නොහැක. මෙතෙක් ලොව බිහිවූ නිර්මාණය යනු මිනිසා අත් දුටු යතාර්ථය පමණි. ඉපැරණි ලෝකය තුළ අද්භූත යයි බලු බැල්මට පෙනෙන නිර්මාණ මිනිසා විසින් බිහි කළේය. ඒ අතර මුහුණු සයයි අත් දොලසක් ඇති පිළිමද . හින්දු පුරාවෘත වල ඇත් හිසක් ඇති දෙවිවරුද .

 ග්‍රීක ජනප්‍රවාද වල එකැස් මිනිසුන්ද , දිය කිඳුරියන්ද, මකරුන්ද , නරා අශ්වයින්ද නිර්මාණය කළේය. මේ අතරින් දිය කිඳුරන් හා නරා අශ්වයින් ලොව කොතැනක හෝ නුදුටුවද එහි ඇති බාහිර යතාර්ථය ප්‍රතිෂේප කළ හැකිද ? එකැස් මිනිසුන් , මකරුන් , මෙන්ම දිය කිඳුරන්ද යතාර්ථයට සමරුපී නොවුනද ඒවා නිර්මාණයට යොදාගෙන ඇත්තේ ප්‍රකෘතියේ අප දකින ද්‍රව්‍යන් තුළිනි. පණ ඇති වස්තුන් හැර අද්භූත, විශ්මිත , බලගතු කිසිවක් මේ ලොව පැවතිය නොහැකි බව මෙම නිර්මාණ දෙස සියුම් බැල්මක් හෙලීමේදී අපට දැකගත හැක.


කිඳුරා යනු මිනිසා සහ මත්ස්‍යයෙකුගේ එකතුවකි. නරා අශ්වයන් දෙවොල මත ඉදි වන්නේ මිනිසා සහ අශ්වයෙකු එක් කිරීමෙනි. මිනිසා විමතියට හා කුතුහලයට ලක් ක මකරා නිර්මාණය කර ඇත්තේ ගවයාගේ ඇස්, මාළුවාගේ සම , සර්පයාගේ දිව, , කිඹුලාගේ පාද , හා ගින්දර යනාදියේ එකතුවකි. එසේ නම් යථාර්ථයේ අප දකින , අත්දුටු සියල්ලම මිනිසා විසින්ම නිර්මාණයකට ඇතුළත් කර ඇත. දේව ප්‍රතිමාද නිර්මාණය කිරීමෙහිලා මෙකී සත්‍යයෙන් පරිබාහිරව කිසිවක් සිදුවී නැත. එහෙත් මෙවැනි නිර්මාණ වලට අතිශෝක්තිය ගෙන එමෙන් මිනිස් මනස ව්‍යාකුල කර නොනැවතී මිනිසා යතාර්ථයෙන්ද ඈත්කර ඇත. මිනිස් මනස විඥානවාදී සංකල්පයන්ගෙන් භෞතිකවාදයට ප්‍රවිෂ්ඨ වීමේදී යතාර්ථය ඇති සැටියෙන්ම අවබෝධ කර ගත හැක. එයට මාක්ස්වාදයෙන් අතිමහත් රුකුලක් ලෝකයාට ලැබී ඇත.

 

                                                                                                   - චූලක බණ්ඩාරවත්ත -    







Saturday, December 5, 2015

විඩාපත් කළු මනස ප්‍රභාමත් කළ ස්ටීව් බිකෝ


 " අප අව්‍යාජ මිනිසත් බව සොයා යෑමේ මගට පිවිස ඇත. කොහේ හෝ දුර ඈත ඉසව්වක ප්‍රභාමත් විජයග්‍රහණය අපට දැකගත හැකිවනු ඇත. " එසේ කියන්නේ ස්ටීව් බිකෝය.

බොහෝ මිනිසුන් සාමාන්‍ය ලෙස මෙලොව උපතලබා කිසිදු හැලහැප්පීමකින් තොරව ජීවිතයේ කිසිදු සලකුණක් නොතබා මෙලොව හැරයති. නමුත් අතලොස්සක් දෙනා උල්කාපාතයක් සේ මහා හඬ නගමින් මිහිමතට කඩාවැටී පෘතුවියම දෙදරවා , මහා ආවාට දසත ඉතිරිකර , සැනෙකින් නිවී යති. ඔවුන් ජීවත්වන්නේ සැබවින්ම කුඩා නිමේශයක් වුවත් , මානව වර්ගයා මේ මිතලයේ පවතින තුරු , මානව ඉතිහාසයෙන් මැකීයාමට ඉඩ නොදෙන , මිනිසුන්ට ආදරය කරන මිනිසුන්ගේ සිත් සතන් තුල ඔවුන් සදාදරණීය මතකයන් බවට පත් වේ. සැබෑ මිනිසුන් ඔවුන්ට ගරුබුහුමන් දක්වයි. නැවත නැවතත් ඔවුන්ගේ නිර්භයත්වයෙන් , වීරත්වයෙන් පිරී ගිය ඉතිහාසය කියවයි . ඉන් වර්තමානයට උගත හැකි පාඩම් උකහා ගනී. ඉන් සටන් පෙරමුණු පන්නරය ලබයි.
 
වර්භේදවාදී මිලේච්ච අතීතයක් සමග අනෙක විධ දුක්ක දොම්නස් මැද හැදී වැදුණු දකුණු අප්‍රිකානු කළු ජනතාව උදෙසා සටන් කල ස්ටීව් බිකෝ ද එම සමාජය පමණක් නොව ලොව පුරා නිදහස් සටන්කාමීන් කුල්මත් කල වීරයෙකි. ඔහු දකුණු අප්‍රිකානු විමුක්ති අරගලයට පන පෙවූ නායකයෙකු පමණක් නොව, අනාගත නව දකුණු අප්‍රිකාවක් සඳහා මග කිවූ නියමුවාද විය. ඔහු ජීවත් වුයේ වසර තිස් එකක් තරම් කෙටි කාලයකි. වෙනුර , ත්‍රීමා , බාලේ , තිලීපන් ගේ පරපුරේ විශ්වීය ලකුණකි. මානව ඉතිහාසයේ එක බිහිසුණු යුගයක අඳුරු සෙවනැලි මකා දමනු වස් ඔහුගෙන් නික්මුණු ආලෝකය නිදහස් අරගලයේ සැබෑ නියමුවන් හට සදාතනකි මග කියන තරුවකි.
 
ස්ටීව් බිකෝ ඉපදුනේ දකුණු අප්‍රිකාවේ කේප් තුඩුව ආසන්නයේ පිහිටි කුඩා නගරක් වූ කින් විලියම් නගරයේ මුඩුක්කුවකය. කුඩා කල සිටම ප්‍රගතිශීලී අදහස් වලින් පෝෂණය වූ ඔහු , අධ්‍යාපනය හොඳින් හදාරා ඩර්බන් හි නතාල් වෛද්‍ය විද්‍යාලයට ඇතුල් විය. එහෙත් වර්ණභේදවාදය හිස එසවීමත් සමගම කළු ශිෂ්‍යයින්ට අධ්‍යාපනය නපුරු සිහිනයක් පමණක්ම විය. ජයග්‍රහණයට ඇති එකම මාවත නොනවරත අරගලය බව පසක් කොටගත් බිකෝ ඇතුළු කළු ජාතික ශිෂ්‍ය ප්‍රජාව විසින් දකුණු අප්‍රිකානු ශිෂ්‍යය සංවිධානය පිහිටුවා ගනු ලැබීය . ශතවර්ෂ ගණනාවක වහල් බැමි වලින් බැඳී , තම සමේ වර්ණය නිසාම යටත් වීමට සිදු වූ ලක්ෂ සංඛයාත ජනතාවකට ජීවය ගෙන දීමට බිකෝ ගේ ජව සම්පන්න තරුණ කම හේතු විය. කළු මිනිසුන්ගේ මිනිසත් කම අහෝසි කල නොපනත් සුදු පාලනයට එරෙහිව සටන මෙහෙය වීමේ පුරෝගාමීක් බවට පත් වීමත් සමගම , ස්ටීව් බිකෝ පසු පස දඩබල්ලන් සේ සුදු ජාතික පොලිසිය ලුහු බැන්දේය. මුනින් වැටී සිටි ජනයා කෙලින්කළ මිනිසා වර්ණභේදවාදී ආණ්ඩුවේ නොම්මර එකේ සතුරා බවට නිතැතින්ම පත් විය.
 
බිකෝ තම ජනයා අන්ධ භක්තියෙන් විමුක්ති අරගලය වෙත කිසි විටක මෙහෙය වුයේ නැත. I WRITE WHAT I LIKE කෘතිය තුලින් රටේ ජනතාවට අවබෝධ කරවුයේ "අපේ සටන් මග "කුමක් අරබයාද යන්නය. බිකොගේ තරුණ අදහස් , සංකල්ප අරගලයේ ගාමක බලවේගය වූ තරුණ තරුණියන් ප්‍රගතිශීලී අදහස් වලින් පෝෂණය කළේය.
 
" සියල්ලන්ටම ප්‍රථමයෙන් සුදු මිනිසුන් උසස් ජාතියක් නොව ඔවුන්ද අනෙත් මිනිසුන් මෙන් සාමාන්‍ය මිනිසුන් බව වටහා දිය යුතුය. එමෙන්ම කළු ජාතීන්ට , ඔවුන්ද පහත ජාතියක් නොව සාමාන්‍ය මිනිසුන් කොට්ඨාශයක් බව මතක් කර දිය යුතුයි. " යනුවෙන් ඔහු පැවසුවේය. 
 
වර්ණභේදවාදය යනු සුදු අධිරාජ්‍යයවාදය විසින් කළු මිනිසුන් සුරාකෑමසඳහා අටවන ලද්දක් බව බිකෝ ජනතාව අමතමින් කියා සිටියේය. සුදු මිනිසුන්ට වරප්‍රසාධ භුක්ති විඳීමටත් කළු ජාතිකයින්ට ශ්‍රමය වැගිරීමත් සිදු වීම ධනේශ්වර ක්‍රමයේ විකෘතිභාවය පෙන්වීමක් මිස වෙන කුමක්දැයි ප්‍රශ්න කළේය. බිකෝ ගේ මතවාදය අප්‍රිකානු පෑගී මිරිකී සිටි සමාජයට අතිශය බලපෑමක් කළේය.
 
1978 ජුනි මස 16 වන දින සොවෙටෝ හි උසස් පාසලේ සිසුන් තම අයිතීන් වෙනුවෙන් වීදි බසින් සටන් කළේය . එයට සුදු ජාතික ආණ්ඩුවේ පිළිතුර වුයේ 700 කට ආසන්න නිරායුධ සිසුන් අමානුෂිකව මරා දැමීමෙනි. මෙම සිදුවීමත් සමගම බිකෝ මරා දැමීම සඳහා මෙහෙයුම ආරම්භ කළේය.

 1977 අගෝස්තු මස 21 වෙනි දින බිකෝ තම සගයින් සමග රහසි ගත ස්ථානයකදී දේශපාලන සාකච්චාවකට සහභාගී විය. එය අවසන් කර පැමිණෙද්දී අතර මග හමුදා බාධකයකදී අත්අඩංගුවට ගෙන පොර්ට් එලිසබෙත් දේශපාලන සිර කඳවුරට ගෙන ආවේය. දින 25 ක් එහි රඳවා ගෙන නිරාහාරව තබා දෙතිස් වද දී සිටියදී බන්ධනාගාර වෛද්‍යවරයා ගේ ඉල්ලීමකට අනුව රෝහල වෙත රැගෙන ගියේය. එහෙත් අමානුෂික පාලකයන් විසින් මරණාසන්නව සිටි බිකෝ රෝහල් ගත නොකර පැය දොළහකට වඩා ජීප් රථයක නංවා කිලෝ මීටර් එක්දහස් දෙසීයක් දුර ප්පිහිටි ප්රිටෝරියා කඳවුරට රැගෙන ගියේය. දුෂ්කර ගමනත් , තබල අසාධ්‍ය තත්වයත් නිසා කඳවුරට ලඟා වී පැයකින් පසුව සීතල සිමෙන්ති පොළොවක තම ජනතාවට ආදරය කිරීමේ වරදට මෙලොවින් සමුගත්තේය. ඇත්ත වශයෙන්ම කළු අප්‍රිකානු අරගලයට මග කිවූ සැබෑ නායකත්වය් ස්ටීව් බිකෝය . ඔහුගේ රුධිරය මතින් ජය කොඩි එසවූයේ මැන්ඩෙලා වැනි අවසානයේ නිෂ්ක්‍රීය වූ පුද්ගලයින්ය.

                                                                 
                                                                  - චූලක බණ්ඩාරවත්ත -

Friday, December 4, 2015

" කාන්තාවන් සියල්ලන්ම වැරදි නම් පිරිමි පමණක් නිවැරදිද ?


"THE STONING OF SORAYA M"

ඔබත් අනිවාර්යෙන්ම මේ සිනමා කෘතිය නරඹන්න 
 
මේ මිලේච්ච සංස්කෘතියට එරෙහිව ඔබේ පළමු ගල ගසන්න ..!!!

Dont act like the hypocrite 
 
who thinks he can conceal his wiles 
 
while loudly quoting the Koran

වසාලන්නට තම කපටිකම්

කුරානය උපුටා දක්වමින්

කුහකයෙකු සේ

රඟනු කුමටද

14 වන සියවසේ ඉරානයේ විසු හෆේස් නම් කවියෙකුගේ පදමාලාවකින්
 මේ සිනමා කෘතිය ආරම්භ වේ. මේ උදෘතය තුලම මේ අනුවේදනීය කතාවම රැඳී ඇත.

"සිරගතව සිටින අප සියල්ලම වැරදි නම් ඉන් පිටත සිටින සියල්ලන්ම
 නිවැරදිද " මේ මැගසින් බන්ධනාගාරයේ නාඳුනන සිරකරුවෙකු ලිවූ 
වදනකි. මේ සිනමා සිත්තම තුලද එවැනිම මහා ගැඹුරක් ඇති දෙබසක් 
මා දුටුවෙමි. මේ කතාංගයේ ගල් ගසා මරාදමන සොරායා ගේ 
නැන්දනියවන සහ්රා මෙසේ අසන්නේය...


" කාන්තාවන් සියල්ලන්ම වැරදි නම් පිරිමි පමණක් නිවැරදිද ? "


මිත්‍යාදෘෂ්ඨික ජනයා තම ඇදහීම් 
තුලින් මනුෂ්‍යත්වය කීතු කීතු වලට
 ඉරා වනසා දමන අයුරු
 "THE STONING OF SORAYA M" 
චිත්‍රපටය අධ්‍යක්ෂ Cyrus 
Nowrasteh සමත් වී ඇත.

 එමෙන්ම පුරුෂාධිපත්‍යට යටත් වූ  පසුගාමී සමාජ වටපිටාවක   කාන්තාවන් ගේ ඉරණම ඉතා  අසාධාරණ ලෙස විසඳෙන අයුරු  
 සිනමාවට නගා ඇත්තේ සත්‍ය සිදුවීමක් පාදක කොට ගෙනය. 

ප්‍රංශ ඉරාන සාහිත්‍යවෙදියෙකු වූ Freidoune Sahabjam විසින් රචිත
 THE STONING OF SORAYA නවකතාව ලෝකයේ අලෙවි වාර්තා
 තැබූ පොතකි. එම සිදුවීම් මාලාව අලලා ඉරාන සිනමාව ලොවට දායාද 
කල මහා ආදර්ශමත් මෙන්ම හද සසලවන සිනමා නිර්මාණයකි මේ.

(ආ)ත්මය( ග)ලවා ගැනීමේ (ම)ග වූ ආගම දඩමීමා කරමින් තමන්ගේ පටු
 පවිටු චේතනා ඉෂ්ඨ සිද්ධ කරගැනීමට මෙවන් නීච සිදුවීම් ලොව පුරා 
බොහෝ රටවල සිදුවේ. අද දිනයේ අයෙකුට මවක් සහෝදරියක්
 පෙම්වතියක් මිතුරියක් වූ අපේම ගැහැනියක් සෞදී අරාබියේ මොලේ
 නැති කාලකන්නින්ගේ ශාරියා නම් ගල් යුගයේ නීතියට යටත් කරමින්
 මෙලෙසම මරා දමනු ඇත.





                                                                                    - චූලක බණ්ඩාරවත්ත -


චිතුපටය නැරඹීමට මේ ලින්ක් ඔස්සේ පිවිසෙන්න...... 


http://putlocker.is/watch-the-stoning-of-soraya-m-online-free-putlocker.html
 




Thursday, December 3, 2015

ඉතිහාසයේ සැබෑ වීරවරයන්



ඉතිහාසයේ සැබෑ වීරවරයන්ගේ අගය හා වැදගත්කම වඩාත් දැනෙන්නේ ඔවුන් ජීවත්ව සිටි යුගයට වඩා ඉන් පසු යුගයන්ටය. තත්කාලීන බලසබඳතා හා ප්‍රචාරණය තුළින් ඉස්‌මතු වන හුදු දැවැන්ත දැන්වීම් පුවරු වීරයන්ගේ මතකය ඔවුන් බලයෙන් පහව යැමෙන් පසුව ගිලිහී යන නමුත් සැබෑ යුගපුරුෂයන් ගේ මතකය, නිලඹර දිදුලන තාරකාවන් සේ යුගයෙන් යුගයට හා පරම්පරාවෙන් පරම්පරාවට ආලෝකය ලබාදෙමින් හා දිශානතිය සනිටුහන් කරමින් දීර්ඝ කාලීනව පවතී. 

මේ එවන් මිනිසෙකු ගැන විවරණයයි ....
 
ජුලියස් පුචික්  

ජුලියස් පුචික් යනු ලොව මෙතෙක් බිහි වූ අග්‍රගන්‍ය පුවත්පත් කලාවේදියෙක් මෙන්ම නොබියව පැසිසිට්වාදයට එරෙහිව සිය පන්හිඳ එසවූ මාකස්වාදී දේශපාලන ක්‍රියාකරුවෙකි. 1903 පෙබරවාරී 23 වෙනි දින චෙකොස්ලෝවැකියාවේ දිළිඳු කම්කරු පවුලක ඔහු උපත ලැබීය.

ඔහුගේ ලේඛන හැකියාවන් ඔප් නැංවුයේ දොළොස් හැවිරිදි වියේදීය. එවකට චෙකොස්ලෝවැකියාවේ පැවැති කොමියුනිස්ට්වාදී " වහලා " නම් පුවත් පතට ඔහුගේ නිර්මාණ ඉදිරිපත් කළේය. වසර විස්ස වන විට ඔහුගේ ජීවිතය පුර්ණකාලීන දේශපාලනයට යොමු විය. චෙකොස්ලෝවැකියානු කොමියුනිස්ට් පක්ෂයේ දීප්තිමත් ක්‍රියාකරුවෙකු ලෙස පක්ෂය තුළ ප්‍රසාදයට ලක් විය. අනතුරුව වැඩිදුර අධ්‍යාපනය පිණිස ප්‍රාග් විශ්වවිද්‍යාලයට බැඳෙමින් ජනමාධ්‍යවේදී උපාධිය හිමි කර ගත්තේය. ඉන් පසුව ජනතාව අතර ඉමහත් ජනප්‍රියට පත් වූ සඟරා කිහිපයකත් , Rudé právo ("Red Law") නම් සමාජවාදී පුවත්පතේ කතෘ වරයා ලෙසත් කටයුතු කළේය.

පක්ෂයේ තවත් දේශපාලන ක්‍රියාකාරිනියක් වූ ගුස්ටා පුචිකොවා සමග ජුලියස් පුචික් 1938 දී විවාහ වීය. එම වසර ඔහුගේ ජීවිතයේ තීරණාත්මක වසරද විය. එවකට පැවැති ධනේශ්වර පාලනය ඔහුගේ පක්ෂය වූ චෙකොස්ලෝවැකියානු කොමියුනිස්ට් පක්ෂය තහනම් කරනු ලැබීය. එහි ප්‍රතිඵලයක් ලෙස රහසිගත දේශපාලනයට ඔහු ඇතුළු පක්ෂ නායකත්වය තල්ලු කරනු ලැබීය.

1939 නාසි ජර්මානුවන් චෙකොස්ලෝවකියානු අගනුවර ආක්‍රමණය කිරීමත් සමගම පළමුවෙන්ම දඩයමට ලක් වුයේ කොමියුනිස්ට්වාදීන්ය. නාසි පොලිසිය වූ ගෙස්ටාපෝ ඒකකයේ ප්‍රධානතම ඉලක්කය වුයේ කොමියුනිස්ට්වරුන්ය. නාසි ආක්‍රමණයට එරෙහිව ඔහු දිනෙන් දින ජනතාව දැනුවත් කරමින් සිය අවිය බඳු පන්හිඳ බිම නොතැබුවේය. තහනම් දේශපාලනය තුළද Rudé právo ("Red Law") පුවත්පත මුද්‍රණය කිරීම නොකඩවා කරගෙන ගිය ජුලියස් , පක්ෂයේ මධ්‍යම කාරක සභාවට පත් විය. නාසි ජර්මානුවන්ගේ අමානුශිකත්වයට එරෙහිව ජනතාවගේ පරමාර්ථ දිනවීමට දිවි පරදුවට තබමින් ඔහුගේ ලේඛන කටයුතු කරගෙන ගියේය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔහු අව්‍යාජ කොමියුනිස්ට්වාදියෙකු විය.

පක්ෂයේ රහසිගත මුද්‍රණාලය තුළ දී 1942 අප්‍රේල් 24 දින ඔහු ඇතුළු තවත් හය දෙනෙකු නාසි ගෙස්ටාපෝ පොලිසියට හසුවිය. අනතුරුව ඔහු Pankrác සිපිරිගෙය තුල සිරකළේය. එහිදී මිනිසෙකුට විඳිය නොහැකි දරුණු වධ හිංසාවලට ඔහු ලක් කළේය. එහෙත් විප්ලවවාදී සදාචාරය රකිමින් තමාගේ දේශපාලන ව්‍යාපාරයත් එහි සගයිනුත් ඔහු ආරක්ෂා කළේය. වධකාගාරය තුළදීද ඔහු ලිවීම අත් නොහළේය. Notes from the Gallows හෙවත් " පෝරකයේ සටහන් " නම් සුප්‍රකට ග්‍රන්ථයට පාදක වුයේ ඔහු වධකාගාරය තුළ මරණය පෙනී පෙනී ලිවූ සටහන්ය. ජුලියස් එම රචනා සටහන් කළේ සිගරට් පෙට්ටිෙවල ඇති කුඩා තීරු මතය. පසු කාලීනව ලුයිජි නෝනෝ විසින් Notes from the Gallows නමින් ඔහුගේ සියලු සටහන් ලෝකයේ යුක්තිගරුක මිනිසුන්ගේ , සත්‍ය ගවේෂණය කරන පුවත්පත් කලාවේදීන්ගේ පරමාදර්ශය ලෙස අගනා කෘතියක් නිර්මාණය කළේය.

1943 දී ඔහු චෙකොස්ලෝවැකියාවේ සිට ජර්මනියේ බර්ලින් නගරයට රැගෙන ආවේය. ඔහුට එල්ලකළ ප්‍රධානතම චෝදනාව වුයේ නාසි ජර්මානු පාලනයට එරෙහි පුවත් ලිවීම හා රහසිගත කොමියුනිස්ට් ව්‍යාපාරයක ක්‍රියාකරුවෙකු වීමය. අධිකරණය ඉදිරියේදී නිර්භීතව නාසි පාලනය විවේචනය කළ ජුලියස් පුචික් , පුවත්පත් කලාවේදීන් යනු පාලකයන්ගේ සට්ටම්බියන් නොවන බව ලොවට පෙන්වීය. මරණය තෙක්ම ජනතාවගේ යහපත් හෙට දිනක් වෙනුවෙන් පෙනීසිටි ඔහු මෙන්ම සිය දේශපාලන සගයා වූ ජරස්ලෝව් ක්ලේකාන් සමග 1943 සැප්තැම්බර් 8 වන දින එල්ලා මරාදැමීය.

නාසි ජර්මානුවන්ගෙන් නිදහස් වූ චෙකොස්ලෝවකියාව පුර්ණ සමාජවාදී රාජ්‍යක් බවට පත් විය. ඉන් අනතුරුව ජුලියස් පුචික් එරට ජනතා වීරයෙක් බවට පත් විය. එරට පාලනය හෙබවූ කොමියුනිස්ට් පක්ෂයේ සංකේතය බවට ජුලියස් පුචික් පත් විය.


                                                                                         
                                                     - චූලක බණ්ඩාරවත්ත -

Wednesday, December 2, 2015

අර්නෙස්ටෝ චේ ගවේරා

"යටත් විජිතවාදීන්ට විරුද්ධව අපි තියනු ලබන හැම පියවරක්‌ම ඔවුන්ට එරෙහි සටනේ රණ බෙර හඬයි. අපි මරණයේදී පරාජය වෙනවා. නමුත් අපෙන් ගිලිහෙන අවි නැවත අත් කර ගෙන තවත් පිරිසක්‌ අනාගතයේදී බිහිවෙනවා. "

 1928 වසරේ ජුනි 14 වැනි දින ආර්ජන්ටිනාවේ රොසාරියෝ නගරයේදී එනෙස්‌ටෝ චේගුවේරා සහ සිලියා දි ලා සෙර්නාගේ කැදැල්ලට ආලෝකය එකතු කරමින් අර්නෙස්‌ටෝ චේගුවේරා නම් අසම සම විප්ලවවාදියා මෙලොවට ජනිත විය. කුඩා කල සිට වැළඳුන ඇදුම රෝගයෙන් බාලේ පටන්ම පීඩා විඳි චේ , රෝගය තමන්ගේ ජව සම්පන්න ගමන වෙනුවෙන් කිසිදු බාධාවක්‌ නොකරගත් මිනිසෙකි.
තරුණ වියට පත් චේ චේ ධනවාදයේ සැබෑ මුහුණුවර සහ භීෂණය පිළිබඳව වැටහීමක්‌ ලබා ගන්නට සමත් වූයේ ආර්ජන්ටිනාවේ යුද හමුදා පාලනයක් ජුවාන් පෙරෝන් ගේ භීම සමයේ ලද අද්දැකීම් හා ඇමෙරිකානු යටත් විජිත පසුබිම ඇසුරිනි. චේගේ පියා නාසි විරෝධී පවුලක සාමාජිකයකු වූ අතර ව්‍යාපාරිකයෙකු ලෙස ප්‍රකට වුවද ප්‍රගතිශීලී අදහස් වලින් පිරිපුන් දේශපාලන ක්‍රියාකාරිකයෙකු විය. 

පවුලේ දේශපාලන ආභාෂය තුලින් චේගුවේරා චාල්ස්‌ ඩිගෝල්ගේ නිදහස්‌ ප්‍රංශ බළකායේ සාමාජිකත්වය ලබන විට වයස අවුරුදු 11 කි. ඔහුගේ මව මෙම සංවිධානය වෙනුවෙන් ආධාර එක්‌රැස්‌ කිරීමේ නිරත වූවාය. සමාජ අසාධාරණය ඉදිරියේ නොපැකිලිව අදහස් දැක්වීමට ගුවේරා පවුල නිර්භයව ඉදිරියට පැමිණියේය.

දීර්ග ලතින් ඇමෙරිකානු ගවේෂණ චාරිකා ඔස්සේ ජනතාව විඳි දුක් ගැහැට, පීඩාවන් සිය අද්දැකීම් කරගනිමින් ඔහුගේ විප්ලවීය ගමනාන්තය කියුබානු අරගලයේ ජයග්‍රහණයෙන් එක් කඩ ඉමක් පසු කිරීමට සමත් විය. කියුබානු මහා බැංකුවේ අධිපති වශයෙන්ද , කර්මාන්ත ඇමෙති වශයෙන්ද සිය යුතුකම් කොටස ඉටුකරමින් අනතුරුව ඔහු කොංගෝවේ විප්ලවය වෙනුවෙන් සිය සටන් සගයින් සමග නික්ම ගියේය. නැවතත් කියුබාවට පැමිණි ඔහු සියලු තනතුරු හා කියුබානු පුරවැසි භාවයද නැවත පුද කරමින් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ජාත්‍යන්තර විප්ලවවාදියෙක් වෙමින් බොලිවියාවට නික්ම ගියේ තීරණාත්මක සටනකට මුල පිරීමටය. ලතින් ඇමෙරිකානු කලාපයේ මධ්‍යස්තයේ පිහිටි බොලිවියාව තුල විප්ලවය සාර්ථක කර ගනිමින් මුළු මහත් ලතින් ඇමෙරිකානු කලාපයම සමාජවාදයේ සුවඳින් ඔපවත් කිරීමට ඔහුට සොඳුරු සිහිනයක් තිබුණි.

ඔහු දරුවන්ට අසීමිතව පෙම් කල පියෙකු විය. එමෙන්ම අතිශය කාර්ය බහුල දිවියක වුවද සියලුම දරුවන්ට කන්දීමට ඔහුට වුවමනා තරම් කාලයද තිබුණි. ඝන කැලෑවේ ගරිල්ලා සටන් මෙහෙයවන ඔහුට දරුවන් වෙනුවෙන් කථාන්දර කියා දීමට අවස්‌ථාවක්‌ නොමැති වුණත් ලියන ලද කතාන්දර සහ අඳින ලද චිත්‍ර තැපෑලෙන් එවන ලද බව ඔහුගේ දියණිය ඇලෙයිඩා පසු කාලයක කියා තිබුණි.


"රමොන්" නමින් වෛද්‍යවරයකු ලෙස බොලිවියාවට ඇතුළුව ගරිල්ලා සටන් ආරම්භ කරන ලදී. 1967 වසරේ ඔක්තෝබර් 8 වැනි දින චේ මෙහෙය වූ ගරිල්ලා සටනේ උච්චතම අවස්ථාවට එළඹිණි. යුරෝ දුර්ගයේදී ඔහු ගේ ගරිල්ලා කණ්‌ඩායම ඇමෙරිකානු ආධාර යටතේ ක්‍රියාත්මක වූ බොලිවියානු හමුදාව සමග සටන් වදින්නට විය. අවාසනාවන්ත වෙඩි උණ්‌ඩය නිසා චේට බොලිවියානු හමුදාවට යටත් වෙන්නට සිදුවිය. ඔහු රැගෙන ගොස්‌ බොලිවියාවේ ලා හිගුවේරා නම් අබලන් පාසල් ගොඩනැඟිල්ලේ රඳවා පසු දින එනම් ඔක්‌තෝබර් නව වැනි දින ඔහු සමස්ත පීඩිත ජනයා වෙනුවෙන් ගෙන ගිය නිදහස් අරගලයෙන් පරාජය කොට වෙඩි තබා මරා දමනු ලැබීය. ඔහු ලෝක විප්ලවීය අරගලයෙන් පැහැර ගත්තද ඔහු නැගු කාහල නාදය ඉතිහාසය ලියවෙන තුරු රන් අකුරින් සටහන් වනු ඇත.


                                                               - චූලක බණ්ඩාරවත්ත -